කෙටි කරපු දිග කතා

මා අසළ ඇති පොත ගැන මෙසේ පළමු සටහන පොත් ගුල තුල ලියා තබමි.

කැමති කෙනෙකුට මෙය කල්ඉකුත් වුනු පොතක් ලෙස වර්ග කල හැක. එහෙත්! මෙය කියවන ඔබ අප මුහුණ සැබෑජිවි‍තයේ මුහුණ නොදුන් එහෙත් අපේම භූමියේ අප සමඟ සිටගත් තවත් සහෝදර ජනතාවකගේ ඉරණම් කථාවයි..

පොත නමින් "කෙටි කරපු දිග කථා"වේ. පිටකවරයේ ඉදිරිපස සිට කවරයේ පිටුපස පිටුව දක්වා ඇත්තේ අඳුරකි.. අළු පාට පිටකවරයේ කාබන් පෑනකින් ඇදි කුරුටු සිතුවමකි. ඒ අසලින්ම පිළිවලක් නැති අකුරු වලින් කුමාරි යැයි සටහන්ව ඇත. කුමාරි කවුදැයි දැනගන්න පොතේ පිටු තුලට යා යුතුය.. ඇය නමින් කුමරි කුමාරගමගේ වන්නීය.. ඔබ ඇය නාදුනයි නම් ඇය පිටුපස පිටකවරයේ ඇතුල් පැත්‍ත බැලීමෙන් දැකගත හැක.. මැදිවිය පසුකරමින් සිටින ඇය කුමාරි කුමරගමගේ යැයි සැක කරනවා හැර අපි වෙන කුමක් කරන්නද?

මම මෙයින් වැඩි යමක් නොලියමි.. කුමාරි විසින් දිලීප නමින් පිදූ එම පොතේ ඇති අකුරු වලට ඔබ හා දොඩන්නට ඉඩ දී මම මගේ අදහස් අහවර කරමි.. තව එක් දෙයක් කිව යුතුව ඇත.. මේ අඳුරු අතීතය සෙමින් මැකී යමින් පවතින්නේ යැයි වර්තමානය අපට පවසයි.. එහෙත් එය මැකී ගියද එහි සෙවනැලි හා අළු යට සැඟව ඇති ගිණිපුපුරු තවම උණුසුම් බවද පවසමි..

"තවත් එක් දෙයක් කිව යුතුය. මේ ලියා ඇත්තේ නැගෙනහිර හෝ ලංකාවේ ඉතිහාස කථාව නොවන බවයි. මෙය විශාල පිංතූරයේ ඉතාම පුංචි කොටසක් පමණි. සේ කොටසින් මුළු පිංතූරයම තේරුම් ගත නොහැකිවාක් මෙන්ම මේ පුංචි කොටස නැතුව පිංතූරය සම්පූර්ණ නොවන බව මම විශ්වාස කරමි. "
කුමාරි
2007 නොවැම්බර්
කොළඹ

පාර්වතී
........
........

රෑ 7 පහු වුනාම අවට ගෙවල් වල කිසි කෙනෙක් ‍එළියට බහින්නේ නැහැ..පාර්වතී කොලුවත් එක්ක 7 වෙනකොට දොර අඟුලු දාගෙන ගේ ඇතුළට වෙනවා.."මොකද මේක එක එක තුවක්කුකරුවන්ගේ පාරාදීසයක්" පාර්වතී කිව්වා..
"හදිස්සියේ වත් චූ බරක් හැදුනොත්?" මම ඇහුවා.. එයා අයිත් හිකි හිකි ගාලා හිනා උනා..
2007


පොන්නුදුරෙයි
අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කරේ නැහැ.. ඉස්සරහට කරන්නෙත් නෑ..බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කලේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක.. අපිට ඉන්නේ දෙයියෝ විතරයි නෝනා..දෙයියො කොහොම හරි මගේ පුතාට ගෙදර එන්න සලස්වාවී..
....
...
..
දෙමළ වෙලා ඉපදුනු පාපෙට දෙයියො මොනා කරන්නද?
2007

මව්වරු හා දරුවන්
එල් ටී ටී ඊ එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුන බයිසිකලේ ඉල්ලලා. එයා කියලා අනේ එක නම් දෙන්න බෑ කියලා..ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියලා..උන් ඒක අහන්නේ නැතුව බයිසිකලේ ළඟට යද්දි බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට කරදර කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියලා.ඒත් උන් බයිසිකලේ අතඇරලා බල්ලාගේ කණට වෙඩි තියලා

ගෙදර ආපු කොණ්ඩේ කපපු ළමයි
"අපි ආයේ ඔයාව බලන්න ආවොත් මොනවද ගේන්න ඕනේ?"

එයා අම්මාගෙන් ඇස් ගලවගෙන ආයිත් මගේ ඇස්වලම පටලගත්තා.. දකුණු අතේ දබරඇගිල්ලෙන් එයගේ ඔළුවේ බෑන්ඩ් එක පෙන්නවා..
"ආ.. ඔළුවේ දාන බැන්ඩ් එකක්.. හ්ම්ම්ම් මොන පාටද?"

ඒ ඇගිල්ලම මගේ ෂර්ට් එක පැත්ට දික්කරා..මම ඇ‍දගෙන හිටියේ රතුපාට ෂර්ට් එකක්.. ෂර්ට් එක දිහා බලපු ඇස් උස්සන්න ඉස්සෙල්ලා මට පළමු වරට එයාගේ කටහඬ ඇහුනා.
"දෙකක්"

මම ගැස්සිලා එයා දිහා බැලුවා.. එයා ඇඟිලි දෙකක් පෙන්නුවා..
"එකක් මට,අනෙක එයාට..."

සිත්තාන්ඩි
කවුද ඉතිං වෙඩි තියලා තියෙන්නේ?

දන් නෑ

ඒල් ටී ටී ඊ ය ද?

නෑ

කරුණද?

නෑ

වෙන කණ්ඩායමක් ද?

නෑ

හමුදාවද?

දන් නෑ

අපිත් ආසයි සිංදු අහන්න.
කන්මනි කන්මනි එන් කාදලීයේ..

ආ.. අක්කත් ආසද? අපිත් හරි ආසයි ඒකට විතරක් නෙවෙයි.. එයාගේ හුඟක් සිංදු වලට ආසයි..අක්කා දන්නවාද අපි ආසම ගායකයා සංගීත්
....
....

ඇයි අක්කේ දෙමළ කථා කරන අයට ඒ ගොල්ලෝ බයද? ඒගොල්ලෝ දෙමළ අය එක්ක තරහද? ඒ වුනාට සංගීත් දෙමළෙනුත් සිංදු කියනවානේ..
...
...
...
එයාට කියන්න කොණ්ඩේ වැවුනම අපි කෝච්චියෙන් එනවා කියලා එයාව බලන්න හරිද? ඔන්න අමතක කරන්නෙපා..

දැනට ඇති ඉතිරි කියවීම් ඔබට බාරයි.. වසර 30ක දිගු කතාවක් කෙටි කරපු කුමාරිගේ පොතේ පිටු205 මම අකුරු 205කට ගොනුකිරීම වැරදි මුත් මම මගේ කොටස ඉටු කලෙමි. ඉතිරිය ඔබට බාරකරමි. දෙමළ කෙල්ලන්ගේ කොටට කැපී කොණ්ඩය දැන් ‍වැවෙනවා ඇති.. එය පිච්ච මලින් සැරසිය හැක්කේ ඔබටයි...!!
අවසානයට පෙර කුමාරිගේම වචන වලින් ඔබට සමුදෙමි.

හේමලතාගේ මට මෙන්ම
පාර්වතීටද
පරමේෂ්වරීටද
නන්දිනීටද
කාලිකුට්ටිටද
අප්පු,පොන්නුදුරෙයි හා කුහලන්ලාටද
නම් නොකියවුනු අම්මලාටද
‍නම් නැති නූ ළමයින්ටද
මේ පොත උපහාරයක් වේවා..
මන්ද,මෙහි වචන සහ පින්තූර ලෙස ඇඳී ඇත්තේ ඔවුනගේම ජිවිත බැවිනි.


සටහන - මලී

තැපැල් කන්තෝරුව

පොත් ගුලට මවිසින් ලියන පලමු ලිපිය මෙය වන අතර,මෙය මා කියවා තිබෙන ආකර්ෂණීයම පොත් අතර මුල් තැනක් ගනී.මෙම කෘතිය කාමය,සුරාව මුල් කරගත් ජීවිතයක විනාශය ප්‍රධාන භූමිකාවටද නොදැනෙන පරිදි විකාශණය කරයි.පොත නම් ෂ්රීනි අබේගුණරත්න පෙරේරා විසින් පරිවර්ථිත තැපැල් කන්තෝරුවයි.මෙය පිළිබඳව මා මෙහි ලිවීමට පෙර මවිසින් මෙම කෘතිය බින්කු සහෝදරයාට යෝජනා කල අතර,ඔහුගෙන් මේ කෙරෙහි ඇතිවූ ප්‍රසාදය හේතු කොට ගෙන ජර්මානු ජාතික චාල්ස් බුකොව්ස්කි විසින් රචිත The Post Office හී පරිවර්ථිතය පිළිබඳ ලියන්නට සිත්වීමි.

මෙම කතෲවරයා බොහෝදුරට කාමුකත්වය සහ බේබදුකම හේ ගේ කෘති වල උච්ඡස්ථානයක තබා කටයුතු කර තිබෙන අතර,මොහුගේ අනෙකුත් කෘතීන් අතර වන කාමුකයාගේ දිනපොත සහ බේබදු මිත්‍රයා වැනි කෘතීන්ගෙන් මනාව පැහැදිලි වෙයි.වැඩි දුර සොයා බලන කල මෙහි දීර්ඝ ලෙස ජර්මානු සමාජය ව්‍යුත්පන්න කරයි.සිද්ධිය ඇරඹෙන්නේ රැකියාවේ නියුතු වන හෙන්‍රි චයිනාස්කි හෙවත් කතානායකයාගෙනි.රැකියාව තැපැල්කරුය.පුරුදු පරිදි මෙහි ආරම්භයද ස්ත්‍රීත්වය මදක් පහල හෙලීමකි.
නරකම නැත.එනමුදු තුන්වෙනි හෝ හතරවෙනි වරට ඇය සමග යහන්ගත වූ පසු අන් සෑම ගැහැණියක අරඹයා මෙන් මැය ගැනද ආශාව හීන වූයෙන්නැවත එම දිශාව නෝ නොබැලුවෙමි.
ඔහු සිතින් තම ජීවිකාව පිලිබඳ ආඩම්බර වෙයි.
දෙවියනේ ලියුම්කාරයෝ. . .ඇත්තටම මොවුන් අතින් සිදුවන්නේ කුමක්ද?ලියුම් පෙට්ටි තුලට ලියුම් එබීමත්,ගැහැණුන් සමග නිදිවැදීමත් විතරමනේ.ෂා. . .!මටම කියාපු රස්සාව.ඕහ්. . .ඔව්...ඔව්...
චයිනාස්කි සුපුරුදු පරිදි තමාගේ ප්‍රධානතම මිතුරන් වන කාමය සහ සුරාව සමග වෙළෙමින්. . .මුල් පරිච්ඡේද තුල පරහට සිටින ඔහුගේ ආයතන ප්‍රධානී ජෝන්ස්ටෝන් සමග ගැටෙමින් අවසානය තෙක් කතාව දිව යයි.එහෙත් කිසි සේත්ම ඒකාකාරී ගතියක් දැනෙන්නේ නැත.
ප්‍රධානියා වුනේ කුළු මීමෙකු මෙන් ගෙලක් තිබූ ජෝන්ස්ටෝන් නැමැත්තෙකුය.එහි සේවක අඩු පාඩුවක්නිරන්තරයෙන්ම තිබුණතර,එයට හේතුව ඉක්මනින්ම මා හට අවබෝධ විය.
මහන්සියත් සමග රැකියාවේ එපාවීම්,ස්ථීරවීම්,දික්කසාද,සොරකම්,මුළු ගැන්වීම්,නිදි වැදීම්,සූදුව,සුරතල් සතුන්,ගණිකාවන්,ආහාර,දේපොල, මිනීමරුවන්,සිගරට් අළු මිශ්‍රිත බියර්,ජින්,වොඩ්කා,කාර්,අවමගුල්, රම්,දරුවන්,දඩයම් ඔස්සේ දිගහැරෙන උදාසීන අවසානයක් සහ සිතීමට යමක් ඉතිරිකර චාල්ස් බුකොව්ස්කි මෙහි අවසන් තිත තබයි.
පසු දින උදෑසන,උදෑසනක්ම වූ අතර,මමද පණ පිටින් සිටියෙමි.බාගවිට,පොතක් ලියන්නෙමැයි සිතුවෙමි.ඇත්තෙන්ම ලීවෙමි.

ලිව්වේ : මුචලින්ද

මම රාත්‍රිය වෙමි
















නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...

නීට්ෂ 'අධිෂ්ඨානය' නම් සංකල්පයක් 'තණ්හාවට' අනිත් පස තැබුවේය. නිට්ෂ ගෙ දර්ශනය ගැන සිංහලෙන් ලියැවුන පොත් එකකි. ගුණපාල ධර්මසිරි නීට්ෂ ගැන පමණක් නොව අනෙකුත් දර්ශන-දර්ශනාන්තරයන් පිළිබඳවද ප්‍රමාණිකයෙකි. ඔහු නීට්ෂ ගැන ඉහත කී එකම පොත ලිවීය. 1980 දශකයේ අගට වන්නට සාංදෘශ්ඨික වාදය ගැන විවිධ වාද-ප්‍රවාද විසින් කොළඹ මතාන්තර අවකාශය ගිලගති. 1988-89 කැරළි සමයත් 'අහිමි විප්ලවයත්' විසින් ඇති කිරීමට නියමිත රික්තකයට අවශ්‍ය වූ 'ගුප්තවාදයන්' ප්‍රචලිත වෙමින් පැවතිණ.


1988මම රාත්‍රිය වෙමි පළවන්නේ මෙකී පූර්විකාවේ කොටසක් ලෙස යැයි මට සිතේ. හේමරත්න ලියනආරච්චි අපට සිටින අනගි ලේඛකයෙකි. ඔහුගේ 'මම රාත්‍රිය වෙමි' ෆ්‍රොයිඩ්,නීට්ෂ හා ගෞතම බුද්ධ එක පෙළට සිටවමින් පසුව සිදුවූ විවිධ හරඹයන් ගේ මූලාරම්භය ද? සංයුක්ත පිළිතුරක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැත.

හේමරත්න ලියනආරච්චි රෝගාතුරව සිටින බව නදීජා කීවා ය.


'මම රාත්‍රිය වෙමි' මුල් වරට කියවුවා ට පසු පසුගිය දශක දෙක පුරා එහි පිටපතක් සොයමින් පොත් කඩ පීරූ මුත් එකක් සොයා ගත නොහැකි විය. 2008 නැවත වරක් 'මම රාත්‍රිය වෙමි මුද්‍රණය වී ඇත. මුල් වර කියවූවාට පසු නැවත යොවුන් ආවේගයකින් යුතුව එය කියවීමට පටන් ගත්තේ මරදානේ ආනන්දය ඉදිරිපිට බස් නැවතුමෙදී ය. එය දෛවෝපගත සිදුවිමක්ද?

'ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයෙහි සිතෙහි කිසියම් ආරක්ෂා සහගත බවක් තිබිණ.' - 29 පිට

ඊයේ රාත්‍රියේ දස්තයෙව්ස්කි මා බලන්නට ආවේ ය. – 1 පිට


මේ කිසිදු සිංහල නවකතාවක හමුවන වැකියක් නොවේ. 'මම රාත්‍රිය වෙමි' 1960 දශකයේ සමාජ පසුබිම මත පිහිටා ලියැවුන, හරි හමං විචාරයකට ලක් නොවූ කතාවකි. බණ්ඩාර ගේ 'භින්නෝන්මාදී' මනසින් එළියට එන්නේ 'පසු නිදහස්' යුගයේ උපන් භින්නෝන්මාදය යැයි මට හැඟේ.

එවිට මම බණ්ඩාර නොවෙමි. මම චරිතයක් වෙමි. වචන ගොඩක් වෙමි. අකුරු ගොඩක් වෙමි. – 17 පිට

මේ ටෙක්ස්ට් -text’ හෝ කතිකා ව-discourse’ හෝ යනුවෙන් පසුව ඇතිවූ විදාරණයේ පෙරවදන යි. අමරසේකර (යළි උපන්නෙමි ) ගුනසිංහ (හෙවනැල්ල ) අජිත් තිලකසේන (පිටුවහල් කර සිටිද්දී ) ආදී කතා කරුවන්ගේ පෙළෙහි ඊළඟ පොත 'මම රාත්‍රිය වෙමි' විය යුතුය.

තාත්තා එක්ක යකෙකුටවත් ඉන්න බෑ. මම ඇත්ත කියන්නම්, මට අනන්ත හිතිල තියෙනවා තාත්තා ව මරල දාන්න.....සහතිකයි... – 97 පිට

මචං, ආනන්තරිය පාපයක් වෙච්ච පීතෲ ඝාතනය; ඒක උරුමයක් වෙච්ච.. ඉතිහාසයක් වෙච්ච අපේ අතින් සූත්‍ර ගත නොවුනේ ඇයි?’ මම සමන් ගෙන් ඇසීමි. මචං 1976 විතර ආපු 'ජෝර්ජ් ඊ වීරකෝන්' ගේ 'පුතේ උඹේ මාළිගාව' කියවලා තියෙනවද?’ සමන්ගේ පිළිතුර ජනේරු දා දුරබණන ජාල තදබදයෙහි කැඩි කැඩි ගිලි ගියේය.


මම ආසා පොත් එක් එක් ගොණු වශයෙන් රාක්කයේ එක තැන තැබීමට ආසා කරමි. සිද්ධාර්ථ ගරුසිංහ පරිවර්තනය 'මම රාත්‍රිය වෙමි' හා එක තැන තැබීම මගේ කැමැත්තයි.


නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...