වහලක් නැති මාලිගාව - Of Mice & Men - John Steinbeck



අපි හැමෝම හීනයක් නිසා ජීවත් වෙන මිනිස්සු. කවදාහරි ඉටු කර ගන්නවා කියල හිතා ගන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන්න නිසා තමයි තවත් දවසකට ඇහැරිලා ඒ දවසේ දුක් කම්කටොලු විඳගෙන ඉවසගෙන ඉන්නෙ. සමහර වෙලාවට අපිටම බරක් වෙන මේ හීනය සැබෑ කර ගන්න අවස්ථාවක් හැමෝටම ලැබෙනවද? 

"වහලක් නැති මාලිගාව" කියන්නේ ප්‍රසිද්ධ ඇමෙරිකානු ලේඛකයෙක් වෙන ජෝන් ස්ටයින්බෙක්ගේ Of Mice & Men කියන පොතේ සිංහල පරිවර්තනය. කවදා හරි සැබෑ කර ගන්න බලාපොරොත්තු වෙන ඒ ගැන වෙහෙසෙන පුංචි ගොවිපලේ හීනය උඩ ජීවත් වෙන චරිත දෙකක් වටේ තමයි කතාව දුවන්නෙ. 
ලෙනී, මානසිකව ලමයෙක්ගෙ තත්වයේ ඉන්න වැඩිය ලෝකය ගැන වැටහීමක් නැති ශාරීරිකව යෝධයෙකුගේ ශක්තිය තියෙන චරිතයක්. ඔහුට තනිවම සමාජය ඇතුලේ විනාඩියක්වත් ජීවත් වෙන්න බැරි තරමට මානසිකව අපරිණතයි. හුරතල් කරන්න පුලුවන් දේවල් වලට ලොකු ආසාවක් දක්වන ලෙනී අමාරුවේ වැටෙන්නෙත් ඒ පුරුද්ද නිසාමයි.

ජෝජ් කියන්නේ ලෙනීව බලා කියා ගන්න, ඔහුගේ භාරකරුවා විදියට ඉන්න චරිතය. ඔහු තීක්ෂණ බුද්ධියකිනුත්, ප්‍රායෝගික බවිනුත්, කරුණාවෙනුත් සමන්විත පුද්ගලයෙක්. 

ජෝජ්ට ලෙනීත්, ලෙනීට ජෝජුත් හැර මේ දෙන්නට කාත් කවුරුවත් නැහැ. ඔවුන්ට හිටිය අන්තිම නෑදෑයා, ක්ලාරා නැන්දා මියැදෙන්නේ ලෙනීව ජෝජ්ට භාර දීලා. තැනින් තැන ගොවිපල වල වැඩ කරල සල්ලි ටිකක් එකතු කරගෙන තමන්ගෙම කියල පුංචි ගොවිපලක් මිලදී අරගෙන මියැදෙනකම් එතනට වැටිලා ඉන්න හීනයක් මේ දෙන්න එලවනවා. 

"ගොවිපල වල වැඩ කරන අපි වාගේ මිනිස්සු තමා මේ ලෝකේ ඉන්න අසරණම එවුන්. පවුලක් නෑ. ගමක් රටක් නෑ. එක තැනක වැඩ කරල කීයක් හරි හොයා ගන්නවා. ටවුමට ගිහිල්ලා ඒක නාස්ති කරනවා. ....  අනාගතයක් ගැන හිතන්න දෙයක් නැහැ..."
"..අපි දෙන්නා ඒ වගේමත් නෙමෙයි. අපිට අනාගතයක් තියෙනවා. අපිට අපි ගැන කතා කරන්න අපි දෙන්නා ඉන්නවා. තැබෑරුමකට වෙලා පස්ස රත් කර කර ඉන්න ඕනෙ නෑ. අනිත් එවුන් හිරේ වැටිලා කුණු වෙලා ගියත් සොයා බලන්න කාත් කවුරුවත් නෑ. ඒත් අපි එහෙම නෑ. "
ලෙනී ද කතාවට එකතු විය. "අපි එහෙම නෑ. මට උඹ ඉන්නවා. උඹට මාව ඉන්නවා. ඒකයි."

ඒ වගකීම උඩ ජෝජ් සහ ලෙනී අර පරිස්සමෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඔවුන් ගොවිපලට යන්නෙත් ඒ හීනය හැබෑ කරගන්න උවමනාවෙන්. හැබැයි එහෙම හිතන විදියටම වැඩ වෙනවද කියන එක පොත කියවල දුක්ඛාන්තය පහුකරනකම්ම හිතා ගන්න බැහැ. කොහොම වුනත් පොත කියවීමේ රසය කියවන්නා හට ලබා දීලා පොතේ ඉතුරු ටික රහසක් විදියට දැනට තියා ගන්නම්.

Of Mice & Men කතාවේ ප්‍රධාන චරිත දෙක එක්තරා විදියක සංකේතාත්මකව භාවිතා කරල තියෙනවා. ලෙනී, ලෝකය ගැන වැඩි අවබෝධයක් නොමැති චරිතය, ජෝජ්ගේ අධිෂ්ඨානාත්මක බලාපොරොත්තුවේ සමාරෝපණයක් (impersonation) විදියට හඳුනා ගන්න පුලුවන්. ඔහු නැතිනම් ජෝජ් "ගොවිපල වල වැඩ කරන අනිත් අනාගතයක් නැති සහසික පුද්ගලයෙක්" වෙන්න තිබුනා. 

"..අනේ දෙවියනේ මං තනියම හිටියනම් කිසිම කරදරයක් නෑ. ලේසියෙන්ම රස්සාවක් හොයා ගන්න තිබ්බා. මාසේ අන්තිමට ඩොලර් පණහක් ලැබුනම ටවුමට ගිහිල්ලා මට කැමති දෙයක් ගන්න පුලුවනි. ගණිකා මඩමට ගිහින් රෑ එලිවෙනකල්ම ඉන්න ඇහැකි. මම කැමති තැනක හෝටලේක හරි වෙන කොතනක හරි, කෑම ගන්න, මම කැමති ඕන දෙයක් ගන්න පුලුවනි. හැම මාසෙකටම පාරක් මේවා කරන්න පුලුවනි. විස්කි ගැලුමක් බී හැකි. පූල් සෙල්ලම් කල හැකි....."
".. මට මොනවද තියෙන්නේ" ජෝජ් තවමත් කතා කලේ කෝපයෙන්ය. "මට උඹව තියෙනවා!..."

තමන්ගේ බලාපොරොත්තුව එක වෙලාවකට බරක් විදියට දකින ජෝජ් තවත් වෙලාවකදි ඒක ආශිර්වාදයක් විදියට දකිනවා. ලෙනී එක්ක එක දිගටම ඉඳිමින් ඔහුව කරදර වලින් බේරා ගන්නෙ ඒ නිසයි. 

ඒත් අන්තිමේදී ඔහු බලාපොරොත්තුව අත හරිනවා. සංකේතාත්මකවත්, ඇත්ත ජීවිතෙනුත්. ඔහුට බලාපොරොත්තු අත හැරීමට සිදුවෙන සිද්ධි දාමය දිහා බැලු‍වොත් කිසිම ආකාරයකින් ඒක එහෙම නොවෙන විදියට පාලනය කරන්න ඔහුට හැකියාවක් නැති බව පෙනී යනවා. සමාජය කියන ආයතනය ඇතුලේ තනි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය ගැන තියෙන පාලනයේ ප්‍රමාණය ගැන ලේඛකයා මෙතනදි ඉඟියක් දෙන්න හදල තියෙනවා. අපි ඇතුලේ තියෙන හීන සැබෑ කර ගන්න කිසිම ඉඩක් නොදෙන තත්වයකට සමාජය පත්වෙන්න පුලුවන් බව ඔහු කියන්න හදනවා. 

Of Mice & Men ඇසුරින් චිත්‍රපට දෙකක් නිපදවිලා තිබෙනවා ඒ නමින්ම. එකක් 1939දි. අනෙක 1992දී. 1992 නිපදවුන චිත්‍රපටිය පමණයි මම බලල තියෙන්නේ. ජෝජ්ගේ චරිතය හොඳින් නිරූපණය වෙලා තිබුණත් ලෙනීගේ චරිතය පොත කියවනකොට මගෙ හිතේ මැවුණ රූපයට කොහෙත්ම සමාන වුනේ නැහැ. නමුත් පොතකින් චිත්‍රපටියක් සෑදීමේදී යම් යම් සීමා යටතේ තමන්ගේම නිර්මාණයක් සිදු කරන්න චිත්‍රපටි නිෂ්පාදකයන්ට පුලුවන් නිසා මේ වෙනස්කම් පිලිගන්න වෙනවා. 

ජෝජ් සහ ලෙනී චරිත දෙක ඇසුරින් හාස්‍යානුකරණ (parody) කාටූන් චරිත බිහි වෙලා තියෙනවා. පහත තියෙන කාටූන් චරිත මම පොඩි කාලෙදි දැකපු ඒවා. සමහර විට තාමත් රූපවාහිනියේ දකින්න පුලුවන්.
Oh please George, Can I? Can I? huh?

Of Mice & Men සිංහල පරිවර්තනය සිදු කරලා තියෙන්නේ ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින්. විදර්ශනා ප්‍රකාශකයින්ගේ පොතක් විදියට රුපියල් 150/=කට ලබා ගන්න පුලුවන්. 

3 ප්‍රතිචාර:

LishWish said...

වටින පොතක් ගන්න ඕනේ මේක..! ස්තූතියි මචන්..! :)

කතන්දර Kathandara said...

ස්ටෙයින්බෙක් ගේ මේ පොත කියවන කොට තමයි මට මතක් වුනේ සාලමන් ෆොන්සේකා කියන හිටපු නාට්‍යකාරයා මේ කතාව ඇසුරෙන් 'අහිමි ජීවිත' වගේ නමක් තියෙන වේදිකා නාට්‍යයක් කළ බව.

Unknown said...

ස්ෙටන් ෙබක් ෙග් ෙෙවරෙය් මිදි ඒල කියන ෙපාතත් කියවලා බලන්න කියලා මම ඔබට කිනවා ෙමයත් විදර්ශන පකාශයක්

Post a Comment