වහලක් නැති මාලිගාව - Of Mice & Men - John Steinbeck



අපි හැමෝම හීනයක් නිසා ජීවත් වෙන මිනිස්සු. කවදාහරි ඉටු කර ගන්නවා කියල හිතා ගන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන්න නිසා තමයි තවත් දවසකට ඇහැරිලා ඒ දවසේ දුක් කම්කටොලු විඳගෙන ඉවසගෙන ඉන්නෙ. සමහර වෙලාවට අපිටම බරක් වෙන මේ හීනය සැබෑ කර ගන්න අවස්ථාවක් හැමෝටම ලැබෙනවද? 

"වහලක් නැති මාලිගාව" කියන්නේ ප්‍රසිද්ධ ඇමෙරිකානු ලේඛකයෙක් වෙන ජෝන් ස්ටයින්බෙක්ගේ Of Mice & Men කියන පොතේ සිංහල පරිවර්තනය. කවදා හරි සැබෑ කර ගන්න බලාපොරොත්තු වෙන ඒ ගැන වෙහෙසෙන පුංචි ගොවිපලේ හීනය උඩ ජීවත් වෙන චරිත දෙකක් වටේ තමයි කතාව දුවන්නෙ. 
ලෙනී, මානසිකව ලමයෙක්ගෙ තත්වයේ ඉන්න වැඩිය ලෝකය ගැන වැටහීමක් නැති ශාරීරිකව යෝධයෙකුගේ ශක්තිය තියෙන චරිතයක්. ඔහුට තනිවම සමාජය ඇතුලේ විනාඩියක්වත් ජීවත් වෙන්න බැරි තරමට මානසිකව අපරිණතයි. හුරතල් කරන්න පුලුවන් දේවල් වලට ලොකු ආසාවක් දක්වන ලෙනී අමාරුවේ වැටෙන්නෙත් ඒ පුරුද්ද නිසාමයි.

ජෝජ් කියන්නේ ලෙනීව බලා කියා ගන්න, ඔහුගේ භාරකරුවා විදියට ඉන්න චරිතය. ඔහු තීක්ෂණ බුද්ධියකිනුත්, ප්‍රායෝගික බවිනුත්, කරුණාවෙනුත් සමන්විත පුද්ගලයෙක්. 

ජෝජ්ට ලෙනීත්, ලෙනීට ජෝජුත් හැර මේ දෙන්නට කාත් කවුරුවත් නැහැ. ඔවුන්ට හිටිය අන්තිම නෑදෑයා, ක්ලාරා නැන්දා මියැදෙන්නේ ලෙනීව ජෝජ්ට භාර දීලා. තැනින් තැන ගොවිපල වල වැඩ කරල සල්ලි ටිකක් එකතු කරගෙන තමන්ගෙම කියල පුංචි ගොවිපලක් මිලදී අරගෙන මියැදෙනකම් එතනට වැටිලා ඉන්න හීනයක් මේ දෙන්න එලවනවා. 

"ගොවිපල වල වැඩ කරන අපි වාගේ මිනිස්සු තමා මේ ලෝකේ ඉන්න අසරණම එවුන්. පවුලක් නෑ. ගමක් රටක් නෑ. එක තැනක වැඩ කරල කීයක් හරි හොයා ගන්නවා. ටවුමට ගිහිල්ලා ඒක නාස්ති කරනවා. ....  අනාගතයක් ගැන හිතන්න දෙයක් නැහැ..."
"..අපි දෙන්නා ඒ වගේමත් නෙමෙයි. අපිට අනාගතයක් තියෙනවා. අපිට අපි ගැන කතා කරන්න අපි දෙන්නා ඉන්නවා. තැබෑරුමකට වෙලා පස්ස රත් කර කර ඉන්න ඕනෙ නෑ. අනිත් එවුන් හිරේ වැටිලා කුණු වෙලා ගියත් සොයා බලන්න කාත් කවුරුවත් නෑ. ඒත් අපි එහෙම නෑ. "
ලෙනී ද කතාවට එකතු විය. "අපි එහෙම නෑ. මට උඹ ඉන්නවා. උඹට මාව ඉන්නවා. ඒකයි."

ඒ වගකීම උඩ ජෝජ් සහ ලෙනී අර පරිස්සමෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඔවුන් ගොවිපලට යන්නෙත් ඒ හීනය හැබෑ කරගන්න උවමනාවෙන්. හැබැයි එහෙම හිතන විදියටම වැඩ වෙනවද කියන එක පොත කියවල දුක්ඛාන්තය පහුකරනකම්ම හිතා ගන්න බැහැ. කොහොම වුනත් පොත කියවීමේ රසය කියවන්නා හට ලබා දීලා පොතේ ඉතුරු ටික රහසක් විදියට දැනට තියා ගන්නම්.

Of Mice & Men කතාවේ ප්‍රධාන චරිත දෙක එක්තරා විදියක සංකේතාත්මකව භාවිතා කරල තියෙනවා. ලෙනී, ලෝකය ගැන වැඩි අවබෝධයක් නොමැති චරිතය, ජෝජ්ගේ අධිෂ්ඨානාත්මක බලාපොරොත්තුවේ සමාරෝපණයක් (impersonation) විදියට හඳුනා ගන්න පුලුවන්. ඔහු නැතිනම් ජෝජ් "ගොවිපල වල වැඩ කරන අනිත් අනාගතයක් නැති සහසික පුද්ගලයෙක්" වෙන්න තිබුනා. 

"..අනේ දෙවියනේ මං තනියම හිටියනම් කිසිම කරදරයක් නෑ. ලේසියෙන්ම රස්සාවක් හොයා ගන්න තිබ්බා. මාසේ අන්තිමට ඩොලර් පණහක් ලැබුනම ටවුමට ගිහිල්ලා මට කැමති දෙයක් ගන්න පුලුවනි. ගණිකා මඩමට ගිහින් රෑ එලිවෙනකල්ම ඉන්න ඇහැකි. මම කැමති තැනක හෝටලේක හරි වෙන කොතනක හරි, කෑම ගන්න, මම කැමති ඕන දෙයක් ගන්න පුලුවනි. හැම මාසෙකටම පාරක් මේවා කරන්න පුලුවනි. විස්කි ගැලුමක් බී හැකි. පූල් සෙල්ලම් කල හැකි....."
".. මට මොනවද තියෙන්නේ" ජෝජ් තවමත් කතා කලේ කෝපයෙන්ය. "මට උඹව තියෙනවා!..."

තමන්ගේ බලාපොරොත්තුව එක වෙලාවකට බරක් විදියට දකින ජෝජ් තවත් වෙලාවකදි ඒක ආශිර්වාදයක් විදියට දකිනවා. ලෙනී එක්ක එක දිගටම ඉඳිමින් ඔහුව කරදර වලින් බේරා ගන්නෙ ඒ නිසයි. 

ඒත් අන්තිමේදී ඔහු බලාපොරොත්තුව අත හරිනවා. සංකේතාත්මකවත්, ඇත්ත ජීවිතෙනුත්. ඔහුට බලාපොරොත්තු අත හැරීමට සිදුවෙන සිද්ධි දාමය දිහා බැලු‍වොත් කිසිම ආකාරයකින් ඒක එහෙම නොවෙන විදියට පාලනය කරන්න ඔහුට හැකියාවක් නැති බව පෙනී යනවා. සමාජය කියන ආයතනය ඇතුලේ තනි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය ගැන තියෙන පාලනයේ ප්‍රමාණය ගැන ලේඛකයා මෙතනදි ඉඟියක් දෙන්න හදල තියෙනවා. අපි ඇතුලේ තියෙන හීන සැබෑ කර ගන්න කිසිම ඉඩක් නොදෙන තත්වයකට සමාජය පත්වෙන්න පුලුවන් බව ඔහු කියන්න හදනවා. 

Of Mice & Men ඇසුරින් චිත්‍රපට දෙකක් නිපදවිලා තිබෙනවා ඒ නමින්ම. එකක් 1939දි. අනෙක 1992දී. 1992 නිපදවුන චිත්‍රපටිය පමණයි මම බලල තියෙන්නේ. ජෝජ්ගේ චරිතය හොඳින් නිරූපණය වෙලා තිබුණත් ලෙනීගේ චරිතය පොත කියවනකොට මගෙ හිතේ මැවුණ රූපයට කොහෙත්ම සමාන වුනේ නැහැ. නමුත් පොතකින් චිත්‍රපටියක් සෑදීමේදී යම් යම් සීමා යටතේ තමන්ගේම නිර්මාණයක් සිදු කරන්න චිත්‍රපටි නිෂ්පාදකයන්ට පුලුවන් නිසා මේ වෙනස්කම් පිලිගන්න වෙනවා. 

ජෝජ් සහ ලෙනී චරිත දෙක ඇසුරින් හාස්‍යානුකරණ (parody) කාටූන් චරිත බිහි වෙලා තියෙනවා. පහත තියෙන කාටූන් චරිත මම පොඩි කාලෙදි දැකපු ඒවා. සමහර විට තාමත් රූපවාහිනියේ දකින්න පුලුවන්.
Oh please George, Can I? Can I? huh?

Of Mice & Men සිංහල පරිවර්තනය සිදු කරලා තියෙන්නේ ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින්. විදර්ශනා ප්‍රකාශකයින්ගේ පොතක් විදියට රුපියල් 150/=කට ලබා ගන්න පුලුවන්. 

ජීවිතය ගැන සුනේත්‍රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා"

for-blog

කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..!    
සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර, ගෙදර බුදුන්ගේ රහස, චීන මනාලිය, දෙවෙනි කසාදය, හීල්ලීම, දඹදිව වන්දනාව, කෙටි පණිවිඩය ආදී වශයෙන් එකකට එකක් වෙනස් කතා හතකින් අපහමුවට එයි..!
අතීතයත් අනාගතයත් අතරමැද පිහිටි වර්ථමානයක් නොවන තැනක හිඳ කියන කතාව අපේ වන්නට යන්නේ ඉතා සුළු වේලාවකි.
සිය පෙරවදන තුලින් සුනේත්‍රා පොත පිළිබඳව කියනා ආකාරයට ඉහත කී කතා හතෙන් හතරක් සිය ඉංග්‍රීසි කෙටි කතා පොතට ඇදුලත් වූ ඒවා ය. කතාවක් නැවත නැවත ලිවීමේදී කතාව වඩාත් ඔපමට්ටම් වීම ගැන සුනේත්‍රා දරන්නේ මේ වැනි අදහසකි ඒ දෙවෙනි කසාදය කෙටි කතාව ඇසුරිනි..!

" දෙවෙනි කසාදය" මුලින්ම මා ලිව්වේ අනුල ද සිල්වා ගේ ඉල්ලීමකට වනිතා විත්ති සඟරාව සඳහාය. එය නැවත් ඉංග්‍රීසියෙන් ලියුවේ මුල් කතාව ළඟ නැතිව බෙයිජීනයේ සිටිය දීය. දැන් එය නැවත් සිංහලයෙන් ලියනාවිට තවත් වෙනස් කම් සිදුවී තිබේ. තමාගේ කතා තමා විසින් ම භාෂා දෙකකින් ලිවීමේ වාසිය, ඒසේ නිදහසේ කතාව එහා මෙහා කරන්නට හැකි වීම ය"

කියූ ආකාරයට ම ඇය කතාව තුල එහාමෙහා ගොස් අපට කතා තුල පවතින හැරවුම් ලක්ෂයන් ගැන මෙසේ ඉඟිකරයි.

පාලම් ගෙදර
"අනේ.. සර්... අපි ඉස්පිරිතාලෙට යනකල් ම එයාට සිහිය තිබුණා. කිරි දරුවෙක් හේ මං උකුලේ තියාන ගියේ. ඒයා අන්තිමට කිව්වේ "දයෝ මොනා හරි වුනොත් මගේ පොත්ටික ඩියාරෝ මහත්තයට දෙන්න ඕන" කියලා. සර්නං පොත් ටික හොඳට බලාගනියි කියලා කීවා. අනේ අප්පේ අච්ච්‍රයි කීවේ. ඉස්පිරිතාලේ ගාවදී දෙපාරක් ගැස්සුනා වගේ වුණා. ඇස් වල කඳුලු. මොනවද කියන්න වාගේ කට ඇරියා . වචන පිට වුනේ නෑ. එච්චරයි."

ගෙදර බුදුන්ගේ රහස
"ඕගොල්ලෝ කැමති කෙනෙක් බැඳ ගන්න. ඒ වුනාට මට වුණා වගේ ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ. ඒ හින්ද තමන්ට තනියන් වුනත් ජීවිතේ ගැට ගහගන්න පුලුවන් දෙයක් ඉගෙන ගන්න මිසක් කසාදෙට හදිස්සි වෙන්න එපා. ඕනම කෙනෙකුට නොහිතන නොපතන දේවල් වලට මූණ දෙන්න වෙනවා. හමුදාවේ කෙනෙක්ගේ ජීවිත කොයි වෙලාවෙද දන්නේ නැහැනේ. ඒ හන්දා තමන්ට ඊට වඩා හයියක් තියෙන්නේ ඕනේ. හමුදාවකට පොලීසියකට වඩා හිතේ හයියක් තියෙන්න ඕනේ ගෑණියෙකුට."

චීන මනාලිය
" එහෙ මිනිස්සු කොකා කෝලා බොනවද? " අප්පච්චී නළල රැළිකරගෙන ඇහුවා. මාසෙකට විතර කලින් මැයි දිනේට යනකොට අප්පච්චිලා මැයි රැළියට බැනර් එකක් අරගෙන ගියානේ බහු ජාතික බූවල්ලෝ පලවා හරිවු කියලා.
"චීනේ ලෝක වෙළඳ සංවිධානේට එකතු වුණා. නිදහස් වෙළඳාම තමයි ඕනේ කියන්නේ" නාමලී අපි කවුරුවත් බලාපොරොත්තු නො වුණු උත්තරයක් දුන්නා.
"ඒ කියන්නේ ඒ ගොල්ලෝ ඇමරිකාව එක්ක යාලුද? විශ්ව විද්‍යාලේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න අපේ ලොකු අම්ම්ගේ දූ සචී ඇහුවා..!
" ඔව්..ඇමෙරිකාව තමා අපේ හොඳම ගනුදෙණුකාරයා..!"
"අපි වෙන දෙයක් කතා කරමු ඔව්වා සේරම කතා කරන්න තව කොච්චර දවස් තියෙනවද?" ලොක්කා වහාම පනලා කතාව නුහුරට යන එක පාලනය කලා.

දෙවෙනි කසාදේ
" අප්පච්චී බැඳලා තියෙන්නේ ළමයෙක් හම්බවෙච්චි සිරියාවතීලු. හරමානිස් ලොකු අක්කට ෆෝන් කරලා කිව්වලු දැං සේරම ඉවරයි කියලා. හරමානිස් කියලා තියෙනවා ඒයා කියපු බවක් නං අඟවන්න එපා කියලා. ඒ මිනිහා පවුලේ කෙනෙක් වාගේ නේ හැම වඩක් ම කරගෙන වැටිලා ඉන්නේ. ලොකු අක්කා එවෙලෙම පිටත් වෙලා මෙන්න සිරියාවතී ලොක්කී වගේ අම්මගේ පොඩි හාන්සී පුටුවේ දිගාවෙලා ඔය මොකද්ද මල් පොතක් කියවනවලු. ඒ ගෑනිගේ ළමයා අපේ අර පරණ ලී අස්සයා පැද පැද හිටියලු."
මට තේරුම් ගන්න බැරු වුනේ ලී අස්සයයි, මල් පොතයි කතාවට සම්බඳවෙන්නේ කොහොමද කියලයි.

හීල්ලීම අනේ මම හිතුවේ ඒ දෙන්න කසාද බඳියි කියලයි. ඒ වුනාට දහම් ට පුන්‍යා වගේම තව පෙම්වතියෝ හිටියාලු. ඒ වුනාට අග මෙහෙසිය පුන්‍යා කියලා තමාලු කියන්නේ.
"මොන කපටියෙක් ද ? ඔයට ආත්ම ගෞරවයක් නැද්ද? ඇයි ඔය මිනිහගේ දහම් පණිවිඩ අහන්නේ ? අනේ මං වගේ නං ඕකා ඉන්න පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ." කියලා මං බැන්නා.

දඹදිව වන්දනාව
"මං ඔය බණක් දහමක් අහනවා මිස එක එකීගේ රෙදි බලන්න යන එකක් යැයි ළමයෝ"
"මේං වැන්දා ලොකම්මේ" ඇට්ටරයා ලීලාවතීට දෑත් එක්කලේ හිස ද පහත් කරමිනි.
"උඹ පළයං මම අයියලාට කියලා බලන්නං"
"අයියලාගේ සපෝට්ටෙකක් ලැබුණේ නැත්තං ඉතිං හිඟන්නෙක් වගේ පැදුරු කෑල්ලක ඔතලා ආණ්ඩුවේ කුණු ටැට්ටරෙං වලට පාත් කරන්නයි වෙන්නේ. මොකෝ මෑන් අපිට කියලත් කරපු දෙයක් නැහැනේ."

කෙටි පණිවිඩය
”චාල්ස් මට හිතෙන්නේ ඒගොල්ලෝ රුපියල් දහ දාහක විතර පඩියක් ගන්න හින්දම නෙවී කියලා ඔහොම හිනාවෙලා ඉන්නේ " මා යලිත් කටහඬ අවදිකලේ පරන්තන් හන්දියේ කඩ පසුවූ විට දිස්වෙන තල්ගසක් වටකොට ගත් බෝගස පසුවන විටය.
"ඔව් රස්සාව අමාරු උනත් සටන් විරාමයක සැනසීමක් ඇතිනේ"
මෙසේ සුනේත්‍රා හදවතට කියනා කතාව හඳුණාගන්න.
පසු සටහන්..,
කෙටිපණිවිඩය සහ දිග කතා
කතුවරිය : සුනේත්‍රා රාජකරුණානායක
ISBN 955-573-463-1
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
ප්‍රථම මුද්‍රණය : 2006
දෙවන මුද්‍රණය : 2008
මිල: රු.275.00