Showing posts with label සුනේත්‍රා රාජකරුණානායක. Show all posts
Showing posts with label සුනේත්‍රා රාජකරුණානායක. Show all posts

ජීවිතය ගැන සුනේත්‍රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා"

for-blog

කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..!    
සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර, ගෙදර බුදුන්ගේ රහස, චීන මනාලිය, දෙවෙනි කසාදය, හීල්ලීම, දඹදිව වන්දනාව, කෙටි පණිවිඩය ආදී වශයෙන් එකකට එකක් වෙනස් කතා හතකින් අපහමුවට එයි..!
අතීතයත් අනාගතයත් අතරමැද පිහිටි වර්ථමානයක් නොවන තැනක හිඳ කියන කතාව අපේ වන්නට යන්නේ ඉතා සුළු වේලාවකි.
සිය පෙරවදන තුලින් සුනේත්‍රා පොත පිළිබඳව කියනා ආකාරයට ඉහත කී කතා හතෙන් හතරක් සිය ඉංග්‍රීසි කෙටි කතා පොතට ඇදුලත් වූ ඒවා ය. කතාවක් නැවත නැවත ලිවීමේදී කතාව වඩාත් ඔපමට්ටම් වීම ගැන සුනේත්‍රා දරන්නේ මේ වැනි අදහසකි ඒ දෙවෙනි කසාදය කෙටි කතාව ඇසුරිනි..!

" දෙවෙනි කසාදය" මුලින්ම මා ලිව්වේ අනුල ද සිල්වා ගේ ඉල්ලීමකට වනිතා විත්ති සඟරාව සඳහාය. එය නැවත් ඉංග්‍රීසියෙන් ලියුවේ මුල් කතාව ළඟ නැතිව බෙයිජීනයේ සිටිය දීය. දැන් එය නැවත් සිංහලයෙන් ලියනාවිට තවත් වෙනස් කම් සිදුවී තිබේ. තමාගේ කතා තමා විසින් ම භාෂා දෙකකින් ලිවීමේ වාසිය, ඒසේ නිදහසේ කතාව එහා මෙහා කරන්නට හැකි වීම ය"

කියූ ආකාරයට ම ඇය කතාව තුල එහාමෙහා ගොස් අපට කතා තුල පවතින හැරවුම් ලක්ෂයන් ගැන මෙසේ ඉඟිකරයි.

පාලම් ගෙදර
"අනේ.. සර්... අපි ඉස්පිරිතාලෙට යනකල් ම එයාට සිහිය තිබුණා. කිරි දරුවෙක් හේ මං උකුලේ තියාන ගියේ. ඒයා අන්තිමට කිව්වේ "දයෝ මොනා හරි වුනොත් මගේ පොත්ටික ඩියාරෝ මහත්තයට දෙන්න ඕන" කියලා. සර්නං පොත් ටික හොඳට බලාගනියි කියලා කීවා. අනේ අප්පේ අච්ච්‍රයි කීවේ. ඉස්පිරිතාලේ ගාවදී දෙපාරක් ගැස්සුනා වගේ වුණා. ඇස් වල කඳුලු. මොනවද කියන්න වාගේ කට ඇරියා . වචන පිට වුනේ නෑ. එච්චරයි."

ගෙදර බුදුන්ගේ රහස
"ඕගොල්ලෝ කැමති කෙනෙක් බැඳ ගන්න. ඒ වුනාට මට වුණා වගේ ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ. ඒ හින්ද තමන්ට තනියන් වුනත් ජීවිතේ ගැට ගහගන්න පුලුවන් දෙයක් ඉගෙන ගන්න මිසක් කසාදෙට හදිස්සි වෙන්න එපා. ඕනම කෙනෙකුට නොහිතන නොපතන දේවල් වලට මූණ දෙන්න වෙනවා. හමුදාවේ කෙනෙක්ගේ ජීවිත කොයි වෙලාවෙද දන්නේ නැහැනේ. ඒ හන්දා තමන්ට ඊට වඩා හයියක් තියෙන්නේ ඕනේ. හමුදාවකට පොලීසියකට වඩා හිතේ හයියක් තියෙන්න ඕනේ ගෑණියෙකුට."

චීන මනාලිය
" එහෙ මිනිස්සු කොකා කෝලා බොනවද? " අප්පච්චී නළල රැළිකරගෙන ඇහුවා. මාසෙකට විතර කලින් මැයි දිනේට යනකොට අප්පච්චිලා මැයි රැළියට බැනර් එකක් අරගෙන ගියානේ බහු ජාතික බූවල්ලෝ පලවා හරිවු කියලා.
"චීනේ ලෝක වෙළඳ සංවිධානේට එකතු වුණා. නිදහස් වෙළඳාම තමයි ඕනේ කියන්නේ" නාමලී අපි කවුරුවත් බලාපොරොත්තු නො වුණු උත්තරයක් දුන්නා.
"ඒ කියන්නේ ඒ ගොල්ලෝ ඇමරිකාව එක්ක යාලුද? විශ්ව විද්‍යාලේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න අපේ ලොකු අම්ම්ගේ දූ සචී ඇහුවා..!
" ඔව්..ඇමෙරිකාව තමා අපේ හොඳම ගනුදෙණුකාරයා..!"
"අපි වෙන දෙයක් කතා කරමු ඔව්වා සේරම කතා කරන්න තව කොච්චර දවස් තියෙනවද?" ලොක්කා වහාම පනලා කතාව නුහුරට යන එක පාලනය කලා.

දෙවෙනි කසාදේ
" අප්පච්චී බැඳලා තියෙන්නේ ළමයෙක් හම්බවෙච්චි සිරියාවතීලු. හරමානිස් ලොකු අක්කට ෆෝන් කරලා කිව්වලු දැං සේරම ඉවරයි කියලා. හරමානිස් කියලා තියෙනවා ඒයා කියපු බවක් නං අඟවන්න එපා කියලා. ඒ මිනිහා පවුලේ කෙනෙක් වාගේ නේ හැම වඩක් ම කරගෙන වැටිලා ඉන්නේ. ලොකු අක්කා එවෙලෙම පිටත් වෙලා මෙන්න සිරියාවතී ලොක්කී වගේ අම්මගේ පොඩි හාන්සී පුටුවේ දිගාවෙලා ඔය මොකද්ද මල් පොතක් කියවනවලු. ඒ ගෑනිගේ ළමයා අපේ අර පරණ ලී අස්සයා පැද පැද හිටියලු."
මට තේරුම් ගන්න බැරු වුනේ ලී අස්සයයි, මල් පොතයි කතාවට සම්බඳවෙන්නේ කොහොමද කියලයි.

හීල්ලීම අනේ මම හිතුවේ ඒ දෙන්න කසාද බඳියි කියලයි. ඒ වුනාට දහම් ට පුන්‍යා වගේම තව පෙම්වතියෝ හිටියාලු. ඒ වුනාට අග මෙහෙසිය පුන්‍යා කියලා තමාලු කියන්නේ.
"මොන කපටියෙක් ද ? ඔයට ආත්ම ගෞරවයක් නැද්ද? ඇයි ඔය මිනිහගේ දහම් පණිවිඩ අහන්නේ ? අනේ මං වගේ නං ඕකා ඉන්න පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ." කියලා මං බැන්නා.

දඹදිව වන්දනාව
"මං ඔය බණක් දහමක් අහනවා මිස එක එකීගේ රෙදි බලන්න යන එකක් යැයි ළමයෝ"
"මේං වැන්දා ලොකම්මේ" ඇට්ටරයා ලීලාවතීට දෑත් එක්කලේ හිස ද පහත් කරමිනි.
"උඹ පළයං මම අයියලාට කියලා බලන්නං"
"අයියලාගේ සපෝට්ටෙකක් ලැබුණේ නැත්තං ඉතිං හිඟන්නෙක් වගේ පැදුරු කෑල්ලක ඔතලා ආණ්ඩුවේ කුණු ටැට්ටරෙං වලට පාත් කරන්නයි වෙන්නේ. මොකෝ මෑන් අපිට කියලත් කරපු දෙයක් නැහැනේ."

කෙටි පණිවිඩය
”චාල්ස් මට හිතෙන්නේ ඒගොල්ලෝ රුපියල් දහ දාහක විතර පඩියක් ගන්න හින්දම නෙවී කියලා ඔහොම හිනාවෙලා ඉන්නේ " මා යලිත් කටහඬ අවදිකලේ පරන්තන් හන්දියේ කඩ පසුවූ විට දිස්වෙන තල්ගසක් වටකොට ගත් බෝගස පසුවන විටය.
"ඔව් රස්සාව අමාරු උනත් සටන් විරාමයක සැනසීමක් ඇතිනේ"
මෙසේ සුනේත්‍රා හදවතට කියනා කතාව හඳුණාගන්න.
පසු සටහන්..,
කෙටිපණිවිඩය සහ දිග කතා
කතුවරිය : සුනේත්‍රා රාජකරුණානායක
ISBN 955-573-463-1
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
ප්‍රථම මුද්‍රණය : 2006
දෙවන මුද්‍රණය : 2008
මිල: රු.275.00

පූර්වජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක

පසු කවරයේ සටහන :
"මෙය මහාචාර්ය බ්රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්ස් වැනි ප්රකට මනෝ විද්යාඥයන් ගේ පූර්වජන්ම පර්යේෂන සිද්ධි අධ්යයනකි. සුනේත්රා එම සිද්ධි විග්රහ කරන්නේ භාවනා යෝගීන් ඇසුරෙහිද බුද්ධ ධර්මයෙන්ද සුපෝෂිත මනසකිනි. පෙර ජීවිතයක තමන් කවරෙකු වුවත් වඩා වැදගත් වන්නේ වර්තමාන ජීවිතයේ අත්වාරුව මෛත්රිය හා අවංකභාවය විය යුතු බවද කර්මයට අභි...යෝග කල හැකි ශක්තිය තමා තුලින් විනා බාහිර බලවේගයකින් ලබා ගත නොහැකි බවද පෙන්නුම් වෙන මේ කෘතිය ආධ්යාත්මික ආලෝක දහරකින් මනස සුවපත් කරයි"

. . . . . . . . . . . .. . . . . .. . . . . . .





මගේ බ්ලොග් අඩවිය මට මගේ දිහා තුන්වෙනියෙක් විදිහට බලන්න හුරු කරන තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියල මම කලින් ලිපියක් ලිව්වා දැකපු අයට මතක ඇති. ඒ වගේම මගේ පහුගිය නිවාඩුවේදී සිදුවූ විශේෂ සිදුවීම - ("රසවතිය" බ්ලොග් එක ලියන ) හෂිත හා ("සිතිවිලි" කවි බ්ලොග් එක ලියන ) සචීයුවලගේ නිවසේ තිබුනු මිතුරු හමුවේදී . . . එකම මවට අම්මා නොකීවත් එක කුස උන් සොයුරියක් මෙන් දයාවෙන් මට සලකන සචී මට තෑගි කල මේ "පූර්වජන්ම අපූර්වය" පොත, මට තවත් ඇසක් ලබා දුන්නා කියනවාට වඩා බ්ලොග් එක තුලින් ලැබුනු තුන්වෙනි ඇසේ වපසරිය, එහි නිම් වළලු තවත් පුළුල් කලා කීවොත් තවා වඩා නිවරදි.

සචී ඔබට පිං . . .

එසේත් නැත්නම් ඔබ ලඟදී පටන් ගත් ඔබේ "සිතිවිලි" කවි බ්ලොග් අඩවිය සාර්ථකවේවා කියා පතන්නම් ඒ පිනෙන්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මම පුංචි කාලේ අපේ අසල්වැසි නිවසක පූසියෙක් හිටියා. මේ පූසිට පැටව් හම්බුවුනු දෙපාරකම මේ පූසිම ඒ පැටව් ටික ඔක්කෝම කෑවා. අපේ ගෙදාර පූසි නොවුනත් මේ සිදුවීම පුංචි අපේ (අක්කගේ මගේ නංගිගේ) හිත් බොහෝම සසල කලා මට මතක හැටියට. අපේ හිත් හදන්න අම්මා දුන්නු පිලිතුර තමයි "ඒ පූසි ගේ පෙර ආත්ම වල වෛරක්කාරයෝ තමයි එයගේ බඩෙන් ඉපදිලා තියෙන්නේ. . . ඉතිං ඒ පෙර ආත්ම වල ඉඳන් පතාගෙන එන වෛරය මේ ආත්මෙත් පිරිමහගත්තා. ඔයාලා වැඩිය දුක් වෙන්න එපා ඒ ගැන. ඒ කර්මය හෙවත් කරුමය"

උපතින් බෞද්ධයෝ වුනත්, ඒ කාලයේ දිනපතා පන්සිල් ගත්තා වුනත්, ඉරිදාට දහම් පාසැල් ගියා වුනත්, පෝයදාට පන්සල් ගියා වුනත්, බෝ මලුවේ - විහාර ගේ පෙරලි පෙරලී වැන්ද වුනත්, හාමුදුරුවෝ කියන බන කතා සාවදානව අසා සිටියා වුනත්. . . ඒ අපේ පුංචි බෞද්ධ හිත් වලට අම්මා කියූ ඒ කතාව කොයි විදිහකින් ජීර්ණය වුනාද කියා නම් මතකයක් නැත.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කුඩා කල අප විසූ නිවස අසල නාලනී ඇන්ටිලගේ (අන්වර්ත නාමයකි) නිවසට අප බොහෝ සවස් වරුවන්හි ගියේ රූපවාහිනියක් ගෙනාවොත් දරුවන්ගේ ඉගෙනීමට බාදා වෙයි කියා සිතූ අපේ තාත්තගේ සිතුවිල්ලට පින්සිදු වෙන්නටයි (ඒ වුනාට ඊට වඩා ගෙදර තිබූ දේශපාලන රැස්වීම් නිසා ඉගෙනීමට බාදා වූ බව දැක්කත් නොදැක්කා වගේ සිටියේ ඇයිදැයි නොදනිමි)

නාලනී ඇන්ටිගේ සැමියා පියසිරි අන්කල් ඉතාම අහිංසක හිනාවක් තිබූ එපමනටම අහිංසක මිනිසෙක්. පියසිරි අන්කල්ට පියාගෙන් ලැබුනු නිවසේ පදිංචිවී සිටි ඔවුන් දෙදරු පවුලක්. ඔවුන් දෙපලගේ දිවිය ගැන කුඩා කල සිට මගේ සිත විමසූ ප්‍රශ්න බොහොමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත මට පිලිතුරු දුන්නා කීවොත් එයයි සත්‍ය.

නාලනී ඇන්ටි පියකරු කාන්තාවක් වුවත් නිතර සිටියේ මූනට අබ ටිකක් දැම්මොත් පිපිරේවි යැයි සිතෙනා තරම් නපුරු මූනකින්. අප සමඟ කතාබහේදී සුහදශීලී ලෙස සිනාසුනත් එකම වත්තේ විසූ පියසිරි අන්කල්ගේ සහෝදර සහෝදරියන් දුටු විගස අර සුපුරුදු අබ පිපිරෙන මූන කෙසේ දමා ගන්නවාදැයි එකල කුඩා මට ව්ශාල ප්‍රශ්නයක්. ශෝචනීයම දේ නිතර අසල්වැසියන් සමග සුහදව සිනාසෙන කතාබහ කරන පියසිරි අන්කල් දුටු විගස නාලනී ඇන්ටිගේ අබ පිපිරෙන මූන අන් අවස්තාවාට වඩා රෞද්‍ර වීමයි.

තාත්තා ගෙදර නැති දිනවල රූපවාහිනිය නරඹන්න ඔවුන්ගේ නිවසට යාම අපට අප්‍රිය කල එකම සිදුවීම එයයි කීවොත් එය කිසිවිටෙකත් බොරු නොවේ. වැඩිහිටියන්ට තවකෙනෙක් ගැන, යම්කිසි සිදුවීමක් ගැන ඔවුන්ගේ හිතේ පැවති නොරිස්සුම් ගතිය සඟවාගෙන සිටිය හැකි වුවත්, බොරු සුහදත්වයක් පෙන්වා කතාබහ කල හැකිවුවත් අව්‍යාජ ළමාවියේ සිටි අපට එය අපහසු කාරියක් වූවා කියා හොඳින්ම මගේ මතකයේ රැඳේ තිබෙනවා.

පූර්ව ජන්ම අපූර්ව කියවා නැති, එවැනි මනෝ විද්‍යාව ඇසුරින් ලියවුනු පොත් පත් කියවා නැතැයි විශ්වාසයෙන් පැවසිය හැකි පියසිරි අන්කල්ගේ අහිංහසක මුහුන මගේ ඉදිරියේ මේ දැන් මැවී පෙනෙන විට නාලනී ඇන්ටි පියසිරි අන්කල් සමග පූර්ව ජන්මයක දී බැඳගත් වෛරයක් මේ ආත්මයේ දී පිරිමහගන්න උත්සාහ කරනවා යැයි මට මේ පොත කියවූ පසු දැනුනු හැඟීම, අවබෝදය පියසිරි අන්කල් එදා කොහෙන් ලබා ගන්න ඇත්දැයි සිතන විට මට සිතෙන්නේ ඔහුගේ ඒ ඉවසීමේ ශක්තිය වෙනුවෙන්, ඒ අහිංසක හදවතින් විඳි වේදනාව වෙනුවෙන් එදා ඔහුගේ අතින් අල්ලාගෙන මට විනාඩියක් වත් අඬන්න තිබුනානම් අද මට ඔහු වෙනුවෙන් දැනෙන මේ වේදනාව වේදනාවක් නොවන්න තිබුනා නොවේදැයි කියායි.

. . . . . . . .. . . . . . . . . . . . . .. . . . . . .. . . . . . . . . .. . . .

අක්කාත් නංගීත් විවාහ වී නිවසින් වෙන්වී මා පමනක් නිවසේ නිවසේ සිටි කාලයේ අම්මාගේත් තාත්තාගේත් රන්ඩුවක් දුරදිග ගොස් ඔවුන් සති දෙකක් එකිනෙකට කතා බහ නොකර සිටි කාලයක දෙදෙනාගේම තෝල්කයා වීමේ (අම්මගේ පනිවිඩ - තාත්තට කෑම කන්න කියන්න. බෙහෙත් ටික වතුරත් එක්ක මේසේ උඩ ඒක බොන්න කියන්න . . .. තාත්තගේ පනිවිඩ - අන්න මම දැල්ලෝ වගයක් ගෙනාව ඒක උයන්න කියන්න. ලයිට් බිල් ගෙවන්න සල්ලි මගේ සාක්කුවෙන් ගන්න කියන්න . . . ආදී වශයෙන්) කාරියට ඇති මගේ අකමැත්ත මා පිටකලේ මෙසේයි . .

"මේ මොන කරදරයක්ද . ."

"දැන් අවුරුදු විසිපහක් විතර තිස්සේ රන්ඩුවෙලත් තාම ඉවර වෙලා නැද්ද?"

"දැන් අපි ගැන හිතනන් ඕන නෑ නේ . . . "

"අර දෙන්න බැන්දා මම ජොබ් එකක් කර්නවා . . . "

"ඔය දෙන්නා ඩිවෝස් වෙලා ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ඉන්න පුලුවන් දෙන්නෙක් හොයගෙන බැඳ ගන්න . . .
මොකටද රන්ඩු වෙවී ඉන්නේ . . ."


අම්මගේ පිලිතුර උනේ :

"පෙර ජාති වල ඉඳන් තිබුනු තරහක් වෙන්න අති බන්."

"ඔන්න ඔහේ ඒක මේ ආත්මෙම ගෙවලා දානවා. නැත් නම් ලබන ආත්මෙකදීත් ගෙවන්න වුනොත් . . ."

තාත්තගේ පිලිතුර වුනේත් :

"ඔව් ඔව් පෙර ජාති ඉඳන් තියෙන ගනුදෙනුවක් වෙන්න අති."

ඒ කාලයේ පූර්ව ජන්ම අපූර්වය කියවා නොතිබුනත් පුනර්භයව කර්මය ආදී දේවල් ගැන පත පොතින් ලත් දැනීමෙන්

"ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහින් නැටි දෙක වත් ඉතුරු වෙන්නේ නැතැයි"

කියලා සිතා හිත හදාගත්තු හැටි මතකයි. ඒත් ඔවුන්ට සතුටුන් ඉන්න හොඳින්ම පුලුවන් කමක් තිබියදෙත් නිරපරාදේ ඒ සතුට නැති කරගෙන ජීවිතේ දුක් විඳින හැටි දුටු මට ඔවුන්ගේ දුක වෙනුවෙන් අඬන්නද ඔවුන්ගේ රන්ඩුවේ වචන වලට සිනාසෙන්නද කියා සිතාගත නොහැකි වූ මට එය උපෙක්ෂාවෙන් දරා ගන්න පිච්ච මල පොත් සෙට් එකේ රාහුල හාමුදුරුවෝ "හ්හ්ම්ම් ඒකත් එහෙමද" කියා කියවා වැනිව ඇසුනා විය හැකියි . .

. . . . .. . . .. . . .. . . . .. . . .. . . .

කාලයක් මගේ හොඳම මිතුරෙක් වී සිටි නමුත් මගේ බ්‍රේක් නැති කට හෙවත් හිතේ තියෙන දේ කෙලින්ම කියන (ගොඩක් අය මගේ නරකම දේ ලෙස සිතුවත් මගේ හොඳම දේ කියා මා සිතන ) ගතිය නිසා මගෙන් දුරස්වී සිටින රිසිත විදුමිනි විජේසේකර (අන්වර්ත නාමයකි)ගැන මා සිතේ වූ සංකා බොහෝමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත පිලිතුරු දී ඒ සංකා නිමා කලා.

යහපත් කාරුනික දෙමවුපියන් (පියාගේ විශ්‍රාම වැටුපෙන් නඩත්තු වන), දයාබර එකම සොයුරිය, වැදගත් නෑදෑ පිරිස, මාපිය උරුමයෙන් ලැබුනු නිවස, වසර ගනනාවක රැකියාවෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් නව නිවස, වාහන කීපය, දුටුවනම පෙමින් බැදී කරදර රාශියක් මැද පෙම් සටන් දිනා විවාපත් රූමත් බිරිඳ, දඟකාර පුතනුවන්, දයාබර මිතුරු මිතුරියන් කැලක් . . . මේ සියලුම දේවල් වලින් පරිපූර්න වූ කෙනෙකුට "ජීවිතේ සුන්දරද මෙතරම්" කියා නොසිතා විහින් ඇති කර ගන්නා ප්‍රශ්න ගොඩක පැටලී . . .

සියලුම මිතුරන් අමනාප කරගෙන, දෙමාපියන් සහෝදරිය ප්‍රශ්න ගොඩකට ඇද දමා, බිරිඳ සමඟ දන්නා තරමින් කිසි හේතුවක් නොමැතිව දබර කරගෙන ඇගෙන වෙන්වෙන්න කටයුතු සකස් කරමින් ඔහු මේ සතුටු විය යුතු . . . විය හැකි ජීවිතය . .. කුමක් නිසා විඳවනවාදෝ කියා මා සිතූ දේට ආසන්නම පිලිතුර ලෙස මේ පූර්ව ජන්ම අපූර්ව පොතේ පේද්‍රෝස් සහ එලිසබෙත් පූර්ව ජන්ම වලදී මුහුන දුන් සිදුවීම් නිසා මේ ජන්මයේදීත් ඒ පූර්ව ජන්ම වල අහිතකර බලපෑම් හේතුකොට ගෙන ඒ බලපෑමෙන් මිදිය නොහැකිව තැවුල් විඳින බැව් පසක් වූ පසු වයි මාගේ සිතෙන් ඔහු ගැන විමසමින් සිටි දේවලට පිලිතුරු ලැබුනේ. ඔහු නිසා හදවතේ ඇති වූ පරන තුවාල කැලල් සුව වූයේ . .

. . . . . . . .. . . . . .. . . .. . . . .

කොටින්ම සුනේත්‍රා පවසන පරිදි නැතිනම් ඈ ප්‍රාර්ථනා කරන පරිදි මේ පොත කියවීමෙන් පසු . . . .මගේ හදවතේ කාලයකට පෙර ඇනී තිබුනු කවදාවත් නොගැලවේවී කියා සිතූ කටු බොහොමයක් දෑස් ඉදිරිපිටම ගැලවී වැටෙනු මා දුටුවා . . . . . අද හෝ හෙට වෙන කිසිම කටුවක් සදාකාලිකව නො ඇනෙන ලෙස හදවත ගල්වෙනු / මෙලෙක් වෙනු මා දුටුවා . . . . . කවදාවත් සුව නොවේ කියා මා සිතූ හදවතේ කාලයකට පෙර, අද, ඊයේ සිදුවී තිබුනු තුවාල සියල්ලම වාගේ සුවවෙනු මට දැනුනා . . . . . යලි කිසි දිනෙක තුවාල නොවන සේ ස්වයං ප්‍රතිශක්තියක් එය විසින්ම සකසා ගනු මට දැනුනා. . . !
. . . .. .. ..

ඉදින් එතරම්ම ශාන්තියක් මට ලබා දුන් මේ පොත ගැන ඔබට කීමට තව පමා වෙන්නේ ඇයි.

පොත ලියූ සුනේත්‍රා රාජකරුණානායක ටත් බොහෝම පිං . .