වහලක් නැති මාලිගාව - Of Mice & Men - John Steinbeck



අපි හැමෝම හීනයක් නිසා ජීවත් වෙන මිනිස්සු. කවදාහරි ඉටු කර ගන්නවා කියල හිතා ගන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන්න නිසා තමයි තවත් දවසකට ඇහැරිලා ඒ දවසේ දුක් කම්කටොලු විඳගෙන ඉවසගෙන ඉන්නෙ. සමහර වෙලාවට අපිටම බරක් වෙන මේ හීනය සැබෑ කර ගන්න අවස්ථාවක් හැමෝටම ලැබෙනවද? 

"වහලක් නැති මාලිගාව" කියන්නේ ප්‍රසිද්ධ ඇමෙරිකානු ලේඛකයෙක් වෙන ජෝන් ස්ටයින්බෙක්ගේ Of Mice & Men කියන පොතේ සිංහල පරිවර්තනය. කවදා හරි සැබෑ කර ගන්න බලාපොරොත්තු වෙන ඒ ගැන වෙහෙසෙන පුංචි ගොවිපලේ හීනය උඩ ජීවත් වෙන චරිත දෙකක් වටේ තමයි කතාව දුවන්නෙ. 
ලෙනී, මානසිකව ලමයෙක්ගෙ තත්වයේ ඉන්න වැඩිය ලෝකය ගැන වැටහීමක් නැති ශාරීරිකව යෝධයෙකුගේ ශක්තිය තියෙන චරිතයක්. ඔහුට තනිවම සමාජය ඇතුලේ විනාඩියක්වත් ජීවත් වෙන්න බැරි තරමට මානසිකව අපරිණතයි. හුරතල් කරන්න පුලුවන් දේවල් වලට ලොකු ආසාවක් දක්වන ලෙනී අමාරුවේ වැටෙන්නෙත් ඒ පුරුද්ද නිසාමයි.

ජෝජ් කියන්නේ ලෙනීව බලා කියා ගන්න, ඔහුගේ භාරකරුවා විදියට ඉන්න චරිතය. ඔහු තීක්ෂණ බුද්ධියකිනුත්, ප්‍රායෝගික බවිනුත්, කරුණාවෙනුත් සමන්විත පුද්ගලයෙක්. 

ජෝජ්ට ලෙනීත්, ලෙනීට ජෝජුත් හැර මේ දෙන්නට කාත් කවුරුවත් නැහැ. ඔවුන්ට හිටිය අන්තිම නෑදෑයා, ක්ලාරා නැන්දා මියැදෙන්නේ ලෙනීව ජෝජ්ට භාර දීලා. තැනින් තැන ගොවිපල වල වැඩ කරල සල්ලි ටිකක් එකතු කරගෙන තමන්ගෙම කියල පුංචි ගොවිපලක් මිලදී අරගෙන මියැදෙනකම් එතනට වැටිලා ඉන්න හීනයක් මේ දෙන්න එලවනවා. 

"ගොවිපල වල වැඩ කරන අපි වාගේ මිනිස්සු තමා මේ ලෝකේ ඉන්න අසරණම එවුන්. පවුලක් නෑ. ගමක් රටක් නෑ. එක තැනක වැඩ කරල කීයක් හරි හොයා ගන්නවා. ටවුමට ගිහිල්ලා ඒක නාස්ති කරනවා. ....  අනාගතයක් ගැන හිතන්න දෙයක් නැහැ..."
"..අපි දෙන්නා ඒ වගේමත් නෙමෙයි. අපිට අනාගතයක් තියෙනවා. අපිට අපි ගැන කතා කරන්න අපි දෙන්නා ඉන්නවා. තැබෑරුමකට වෙලා පස්ස රත් කර කර ඉන්න ඕනෙ නෑ. අනිත් එවුන් හිරේ වැටිලා කුණු වෙලා ගියත් සොයා බලන්න කාත් කවුරුවත් නෑ. ඒත් අපි එහෙම නෑ. "
ලෙනී ද කතාවට එකතු විය. "අපි එහෙම නෑ. මට උඹ ඉන්නවා. උඹට මාව ඉන්නවා. ඒකයි."

ඒ වගකීම උඩ ජෝජ් සහ ලෙනී අර පරිස්සමෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඔවුන් ගොවිපලට යන්නෙත් ඒ හීනය හැබෑ කරගන්න උවමනාවෙන්. හැබැයි එහෙම හිතන විදියටම වැඩ වෙනවද කියන එක පොත කියවල දුක්ඛාන්තය පහුකරනකම්ම හිතා ගන්න බැහැ. කොහොම වුනත් පොත කියවීමේ රසය කියවන්නා හට ලබා දීලා පොතේ ඉතුරු ටික රහසක් විදියට දැනට තියා ගන්නම්.

Of Mice & Men කතාවේ ප්‍රධාන චරිත දෙක එක්තරා විදියක සංකේතාත්මකව භාවිතා කරල තියෙනවා. ලෙනී, ලෝකය ගැන වැඩි අවබෝධයක් නොමැති චරිතය, ජෝජ්ගේ අධිෂ්ඨානාත්මක බලාපොරොත්තුවේ සමාරෝපණයක් (impersonation) විදියට හඳුනා ගන්න පුලුවන්. ඔහු නැතිනම් ජෝජ් "ගොවිපල වල වැඩ කරන අනිත් අනාගතයක් නැති සහසික පුද්ගලයෙක්" වෙන්න තිබුනා. 

"..අනේ දෙවියනේ මං තනියම හිටියනම් කිසිම කරදරයක් නෑ. ලේසියෙන්ම රස්සාවක් හොයා ගන්න තිබ්බා. මාසේ අන්තිමට ඩොලර් පණහක් ලැබුනම ටවුමට ගිහිල්ලා මට කැමති දෙයක් ගන්න පුලුවනි. ගණිකා මඩමට ගිහින් රෑ එලිවෙනකල්ම ඉන්න ඇහැකි. මම කැමති තැනක හෝටලේක හරි වෙන කොතනක හරි, කෑම ගන්න, මම කැමති ඕන දෙයක් ගන්න පුලුවනි. හැම මාසෙකටම පාරක් මේවා කරන්න පුලුවනි. විස්කි ගැලුමක් බී හැකි. පූල් සෙල්ලම් කල හැකි....."
".. මට මොනවද තියෙන්නේ" ජෝජ් තවමත් කතා කලේ කෝපයෙන්ය. "මට උඹව තියෙනවා!..."

තමන්ගේ බලාපොරොත්තුව එක වෙලාවකට බරක් විදියට දකින ජෝජ් තවත් වෙලාවකදි ඒක ආශිර්වාදයක් විදියට දකිනවා. ලෙනී එක්ක එක දිගටම ඉඳිමින් ඔහුව කරදර වලින් බේරා ගන්නෙ ඒ නිසයි. 

ඒත් අන්තිමේදී ඔහු බලාපොරොත්තුව අත හරිනවා. සංකේතාත්මකවත්, ඇත්ත ජීවිතෙනුත්. ඔහුට බලාපොරොත්තු අත හැරීමට සිදුවෙන සිද්ධි දාමය දිහා බැලු‍වොත් කිසිම ආකාරයකින් ඒක එහෙම නොවෙන විදියට පාලනය කරන්න ඔහුට හැකියාවක් නැති බව පෙනී යනවා. සමාජය කියන ආයතනය ඇතුලේ තනි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය ගැන තියෙන පාලනයේ ප්‍රමාණය ගැන ලේඛකයා මෙතනදි ඉඟියක් දෙන්න හදල තියෙනවා. අපි ඇතුලේ තියෙන හීන සැබෑ කර ගන්න කිසිම ඉඩක් නොදෙන තත්වයකට සමාජය පත්වෙන්න පුලුවන් බව ඔහු කියන්න හදනවා. 

Of Mice & Men ඇසුරින් චිත්‍රපට දෙකක් නිපදවිලා තිබෙනවා ඒ නමින්ම. එකක් 1939දි. අනෙක 1992දී. 1992 නිපදවුන චිත්‍රපටිය පමණයි මම බලල තියෙන්නේ. ජෝජ්ගේ චරිතය හොඳින් නිරූපණය වෙලා තිබුණත් ලෙනීගේ චරිතය පොත කියවනකොට මගෙ හිතේ මැවුණ රූපයට කොහෙත්ම සමාන වුනේ නැහැ. නමුත් පොතකින් චිත්‍රපටියක් සෑදීමේදී යම් යම් සීමා යටතේ තමන්ගේම නිර්මාණයක් සිදු කරන්න චිත්‍රපටි නිෂ්පාදකයන්ට පුලුවන් නිසා මේ වෙනස්කම් පිලිගන්න වෙනවා. 

ජෝජ් සහ ලෙනී චරිත දෙක ඇසුරින් හාස්‍යානුකරණ (parody) කාටූන් චරිත බිහි වෙලා තියෙනවා. පහත තියෙන කාටූන් චරිත මම පොඩි කාලෙදි දැකපු ඒවා. සමහර විට තාමත් රූපවාහිනියේ දකින්න පුලුවන්.
Oh please George, Can I? Can I? huh?

Of Mice & Men සිංහල පරිවර්තනය සිදු කරලා තියෙන්නේ ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින්. විදර්ශනා ප්‍රකාශකයින්ගේ පොතක් විදියට රුපියල් 150/=කට ලබා ගන්න පුලුවන්. 

ජීවිතය ගැන සුනේත්‍රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා"

for-blog

කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..!    
සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර, ගෙදර බුදුන්ගේ රහස, චීන මනාලිය, දෙවෙනි කසාදය, හීල්ලීම, දඹදිව වන්දනාව, කෙටි පණිවිඩය ආදී වශයෙන් එකකට එකක් වෙනස් කතා හතකින් අපහමුවට එයි..!
අතීතයත් අනාගතයත් අතරමැද පිහිටි වර්ථමානයක් නොවන තැනක හිඳ කියන කතාව අපේ වන්නට යන්නේ ඉතා සුළු වේලාවකි.
සිය පෙරවදන තුලින් සුනේත්‍රා පොත පිළිබඳව කියනා ආකාරයට ඉහත කී කතා හතෙන් හතරක් සිය ඉංග්‍රීසි කෙටි කතා පොතට ඇදුලත් වූ ඒවා ය. කතාවක් නැවත නැවත ලිවීමේදී කතාව වඩාත් ඔපමට්ටම් වීම ගැන සුනේත්‍රා දරන්නේ මේ වැනි අදහසකි ඒ දෙවෙනි කසාදය කෙටි කතාව ඇසුරිනි..!

" දෙවෙනි කසාදය" මුලින්ම මා ලිව්වේ අනුල ද සිල්වා ගේ ඉල්ලීමකට වනිතා විත්ති සඟරාව සඳහාය. එය නැවත් ඉංග්‍රීසියෙන් ලියුවේ මුල් කතාව ළඟ නැතිව බෙයිජීනයේ සිටිය දීය. දැන් එය නැවත් සිංහලයෙන් ලියනාවිට තවත් වෙනස් කම් සිදුවී තිබේ. තමාගේ කතා තමා විසින් ම භාෂා දෙකකින් ලිවීමේ වාසිය, ඒසේ නිදහසේ කතාව එහා මෙහා කරන්නට හැකි වීම ය"

කියූ ආකාරයට ම ඇය කතාව තුල එහාමෙහා ගොස් අපට කතා තුල පවතින හැරවුම් ලක්ෂයන් ගැන මෙසේ ඉඟිකරයි.

පාලම් ගෙදර
"අනේ.. සර්... අපි ඉස්පිරිතාලෙට යනකල් ම එයාට සිහිය තිබුණා. කිරි දරුවෙක් හේ මං උකුලේ තියාන ගියේ. ඒයා අන්තිමට කිව්වේ "දයෝ මොනා හරි වුනොත් මගේ පොත්ටික ඩියාරෝ මහත්තයට දෙන්න ඕන" කියලා. සර්නං පොත් ටික හොඳට බලාගනියි කියලා කීවා. අනේ අප්පේ අච්ච්‍රයි කීවේ. ඉස්පිරිතාලේ ගාවදී දෙපාරක් ගැස්සුනා වගේ වුණා. ඇස් වල කඳුලු. මොනවද කියන්න වාගේ කට ඇරියා . වචන පිට වුනේ නෑ. එච්චරයි."

ගෙදර බුදුන්ගේ රහස
"ඕගොල්ලෝ කැමති කෙනෙක් බැඳ ගන්න. ඒ වුනාට මට වුණා වගේ ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ. ඒ හින්ද තමන්ට තනියන් වුනත් ජීවිතේ ගැට ගහගන්න පුලුවන් දෙයක් ඉගෙන ගන්න මිසක් කසාදෙට හදිස්සි වෙන්න එපා. ඕනම කෙනෙකුට නොහිතන නොපතන දේවල් වලට මූණ දෙන්න වෙනවා. හමුදාවේ කෙනෙක්ගේ ජීවිත කොයි වෙලාවෙද දන්නේ නැහැනේ. ඒ හන්දා තමන්ට ඊට වඩා හයියක් තියෙන්නේ ඕනේ. හමුදාවකට පොලීසියකට වඩා හිතේ හයියක් තියෙන්න ඕනේ ගෑණියෙකුට."

චීන මනාලිය
" එහෙ මිනිස්සු කොකා කෝලා බොනවද? " අප්පච්චී නළල රැළිකරගෙන ඇහුවා. මාසෙකට විතර කලින් මැයි දිනේට යනකොට අප්පච්චිලා මැයි රැළියට බැනර් එකක් අරගෙන ගියානේ බහු ජාතික බූවල්ලෝ පලවා හරිවු කියලා.
"චීනේ ලෝක වෙළඳ සංවිධානේට එකතු වුණා. නිදහස් වෙළඳාම තමයි ඕනේ කියන්නේ" නාමලී අපි කවුරුවත් බලාපොරොත්තු නො වුණු උත්තරයක් දුන්නා.
"ඒ කියන්නේ ඒ ගොල්ලෝ ඇමරිකාව එක්ක යාලුද? විශ්ව විද්‍යාලේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න අපේ ලොකු අම්ම්ගේ දූ සචී ඇහුවා..!
" ඔව්..ඇමෙරිකාව තමා අපේ හොඳම ගනුදෙණුකාරයා..!"
"අපි වෙන දෙයක් කතා කරමු ඔව්වා සේරම කතා කරන්න තව කොච්චර දවස් තියෙනවද?" ලොක්කා වහාම පනලා කතාව නුහුරට යන එක පාලනය කලා.

දෙවෙනි කසාදේ
" අප්පච්චී බැඳලා තියෙන්නේ ළමයෙක් හම්බවෙච්චි සිරියාවතීලු. හරමානිස් ලොකු අක්කට ෆෝන් කරලා කිව්වලු දැං සේරම ඉවරයි කියලා. හරමානිස් කියලා තියෙනවා ඒයා කියපු බවක් නං අඟවන්න එපා කියලා. ඒ මිනිහා පවුලේ කෙනෙක් වාගේ නේ හැම වඩක් ම කරගෙන වැටිලා ඉන්නේ. ලොකු අක්කා එවෙලෙම පිටත් වෙලා මෙන්න සිරියාවතී ලොක්කී වගේ අම්මගේ පොඩි හාන්සී පුටුවේ දිගාවෙලා ඔය මොකද්ද මල් පොතක් කියවනවලු. ඒ ගෑනිගේ ළමයා අපේ අර පරණ ලී අස්සයා පැද පැද හිටියලු."
මට තේරුම් ගන්න බැරු වුනේ ලී අස්සයයි, මල් පොතයි කතාවට සම්බඳවෙන්නේ කොහොමද කියලයි.

හීල්ලීම අනේ මම හිතුවේ ඒ දෙන්න කසාද බඳියි කියලයි. ඒ වුනාට දහම් ට පුන්‍යා වගේම තව පෙම්වතියෝ හිටියාලු. ඒ වුනාට අග මෙහෙසිය පුන්‍යා කියලා තමාලු කියන්නේ.
"මොන කපටියෙක් ද ? ඔයට ආත්ම ගෞරවයක් නැද්ද? ඇයි ඔය මිනිහගේ දහම් පණිවිඩ අහන්නේ ? අනේ මං වගේ නං ඕකා ඉන්න පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ." කියලා මං බැන්නා.

දඹදිව වන්දනාව
"මං ඔය බණක් දහමක් අහනවා මිස එක එකීගේ රෙදි බලන්න යන එකක් යැයි ළමයෝ"
"මේං වැන්දා ලොකම්මේ" ඇට්ටරයා ලීලාවතීට දෑත් එක්කලේ හිස ද පහත් කරමිනි.
"උඹ පළයං මම අයියලාට කියලා බලන්නං"
"අයියලාගේ සපෝට්ටෙකක් ලැබුණේ නැත්තං ඉතිං හිඟන්නෙක් වගේ පැදුරු කෑල්ලක ඔතලා ආණ්ඩුවේ කුණු ටැට්ටරෙං වලට පාත් කරන්නයි වෙන්නේ. මොකෝ මෑන් අපිට කියලත් කරපු දෙයක් නැහැනේ."

කෙටි පණිවිඩය
”චාල්ස් මට හිතෙන්නේ ඒගොල්ලෝ රුපියල් දහ දාහක විතර පඩියක් ගන්න හින්දම නෙවී කියලා ඔහොම හිනාවෙලා ඉන්නේ " මා යලිත් කටහඬ අවදිකලේ පරන්තන් හන්දියේ කඩ පසුවූ විට දිස්වෙන තල්ගසක් වටකොට ගත් බෝගස පසුවන විටය.
"ඔව් රස්සාව අමාරු උනත් සටන් විරාමයක සැනසීමක් ඇතිනේ"
මෙසේ සුනේත්‍රා හදවතට කියනා කතාව හඳුණාගන්න.
පසු සටහන්..,
කෙටිපණිවිඩය සහ දිග කතා
කතුවරිය : සුනේත්‍රා රාජකරුණානායක
ISBN 955-573-463-1
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
ප්‍රථම මුද්‍රණය : 2006
දෙවන මුද්‍රණය : 2008
මිල: රු.275.00

1984 : උතෝපියා සිහිනයේ අධිපතිවාදී අන්තය


ඉංග්‍රීසි සාහිත්‍ය තුල සාමාන්‍යයෙන් කියවන්නට ලැබෙන මානුෂීය හැඟීම් නැවත නැවතත් සනාථ කරනා ආකාරයේ ප්‍රබන්ධයන්ට වඩා වෙනස් වූත් ඒවාට වඩා අශුභවාදී වූත් කතාවක රස විඳීමට ලැබීම එක අතකින් නැවුම් අත්දැකීමක් වූ අතරම අනෙක් අතින් එක්තරා ආකාරයක බියක් සිත තුල ජනිත කිරීමට සමත්ව ඇත.  

පොත "එක්දහස් නවසිය අසූ හතර"යි. රචකයා ජෝජ් ඕවල් ය. සිංහලට පරිවර්තනය වන්නේ ආරියවංශ රණවීර අතිනි. 

1984 මගින් ජෝජ් ඕවල් අප ඉදිරියේ රඟ දක්වා පෙන්වන්නේ අනාගත අධිපතිවාදී රාජ්‍යයක ස්වාභාවය හා මිනිස්කම එම අධිපතිවාදය ඉදිරියේ කොතෙක් දුරට පවතීද යන ගැටළුවයි. ඕවල්ගේ සමකාලීනයන් හා ඔහු ආභාෂය ලද්දන් මෙන් මේ සඳහා ඔහු යොදාගන්නේ මනඃකල්පිත ලෝකයකි. 1984 ජෝජ් ඕවල්ගේ අවසාන නිර්මාණය වන අතර ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකේ. කෘතියට නම එලෙස යොදා ගැනෙන්නේ රචනා කල වසර වන 1948 අංක මාරු කිරීමෙන් බව පැවසෙන නමුත් 1984 යන නමෙහි වෙනත් අරුතක් ගැබ් වී තිබේ දැයි ප්‍රකාශ වී නැත.

අනාගත රාජ්‍යයේ නම ඕෂනියාවයි. මෙහි පාලන බලය සමාජවාදී විප්ලවයකින් පසුව "පක්ෂය"නමින් හැඳින්වෙන කොටස මගින් අල්ලා ගනු ලැබෙන අතර ඉන්පසු සිදුවෙන සිද්ධීන් මාලාවකින් පසුව "පක්ෂය" ඕෂනියාවේ සුපිරි පාලකයා බවට පත් වේ. 1984 ප්‍රබන්ධයේ කාලරාමුව පටන් ගන්නේ ඉහත කී විප්ලවය හා පෙරළියට දශක කිහිපයකට පසුවය. 

මෙම අධිපතිවාදී සමාජය තුල නැවත විප්ලවයක් හෝ එවැනි නැගිටීමක් වලක්වාගන්නේ ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කිරීමෙනි. මුලුමහත් සමාජය පුරාම ඉතා දැඩි ලෙස පවත්වාගෙන යන භීෂණය මගින් පක්ෂය (ඕෂනියාවේ මෙම පක්ෂය ඉන්ග්සොක් වන අතර පෘතුවියේ අනෙක් සුපිරි රාජ්‍ය දෙක වන යුරේෂියාවේ බොල්ෂෙවිකයත්, ඊස්ට් ඒෂියාවේ මෘත වන්දනාව නැමැති පක්ෂයත් පවතී. නම් වෙනස් වූවත් මේවායින් සිදුවන කාර්යයන් බොහෝ දුරට සමාන වේ.) නැමැති කුඩා කොටස සෙසු සමාජය යටපත් කරගෙන සිටියි. පක්ෂය පවසන දේ පරම සත්‍යය වන අතර දෙකයි දෙකයි පහයි කී විට, එසේ නොව හතරයි කීමට තරම් එඩිතර අයෙකු තව දුරටත් සොයා ගැනීමට නොහැක. 

අධිපතිවාදයේ පැවැත්ම තහවුරු කරන අනෙක් කාර්යය වන්නේ ඉතිහාසය නැවත නැවත වෙනස් කර පක්ෂයේ අභිමතාර්තය පරිදි ලිවීමයි. ඉතිහාසයක් නොතිබුනහොත් මීට වඩා යහපත් සමාජයක් මින් පෙර පැවතුන බවට මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ නොවේ. එවිට සමාජ පෙරළියක් සිදුවන්නේ ද නැත.

සැලසුම් සහගත සම්පත් හිඟය මගින් ධනවාදයේ ප්‍රධාන අංගයක් වන අතිරික්තය වලක්වා සමාජය ඉතාමත් අඩු සම්පත් ප්‍රමාණයක් යටතේ "රිම් එකෙන් දුවන ගාණට" සකස් කර ඇත. මෙම සම්පත් හිඟය පවත්වාගෙන යන්නේ සුපිරි රාජ්‍ය තුන අතර පවතින නොනවතින යුද්ධය මගිනි. මෙම යුද්ධය විසිවෙනි සියවස මුල් කාලයේ පැවතුන යුද්ධ මෙන් අවසානයක් ඇති, නිශ්චිත ප්‍රතිපල අත්කරදෙන යුද්ධ මෙන් නොව හුදෙක් අධිපතිවාදී සමාජය තුල තුලනය පවත්වාගෙන යාමට ඇති ක්‍රියාවලියකි.

1984 සමාජය තුල රජයන ප්‍රධානම අංගයක් වන්නේ ද්විත්ව චින්තනය (Doublethink) නැමැති යථාර්ත පාලන ක්‍රමවේදයයි. පක්ෂය මගින් එහි පැවැත්ම සඳහා නොකඩවා සිදු කෙරෙන ප්‍රොපගැන්ඩාවන් (ඉතිහාසය වෙනස් කිරීම වැනි) මිනිස් සිතේ අවිඥාණිකව ද සාධාරණීකරණය කිරීම සඳහා යොදාගන්නා චිත්ත ස්වාභාවය ද්විත්ව චින්තනය ලෙස හැඳින්වේ. එකවර එකිනෙකට පරස්පර විරෝධී, හා එකිනෙක කැපී යන අදහස් දෙකක් නිවැරදි යයි සිතමින් කටයුතු කිරීම ද්විත්ව චින්තනය ලෙසින් හැඳින්විය හැක. 

"ද්විත්ව චින්තනය යනු යමෙකුගේ මනසෙහි එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් දරාගෙන ඉන්නා අතර ඒ දෙකම එකවිට සැබෑ යයි එක විටම ඇදහීමය. පක්ෂයේ සාමාජික බුද්ධිමත්හු තම ස්මරණයන් සකස් කර ගත යුත්තේ කවර මාර්ගයක් ඔස්සේ දැයි හොඳින් දනිති. එනිසාම තමා යථාර්ථය සමඟ බොරු මායම් කරන බව ඔවුහු දනිති. ද්විත්ව චින්තනය ඔවුන්ගේ උපකාරයට එන්නේ මෙහිදීය. එහි ආනුභාවයෙන් තමන් යථාර්තයට පිටුපා කටයුතු කරන්නේ නැතැයි තමාට ඒත්තු ගැන්වීමට ඔවුහු සමත් වෙති. මෙම චිත්ත ව්‍යායාමය විශේෂ ආයාසයක් නැතිව ඉබේම සිදු වෙයි."
පිටු අංක 257 - 1984

1948දී ජෝජ් ඕවල් දුටු මෙම ද්විත්ව චින්තනය අද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම එක අතකින් කියන දේ නාහන මිනිස් වර්ගයාට සාමාන්‍යය.

පොදුවේ 1984 සමාජය තුල දකින්නට ලැබෙන්නේ තනි පුද්ගලයා තුලින් පෞද්ගලිකත්වය, යථාර්තය හා මිනිස්කම, ද්විත්ව චින්තනය හා භීෂණය යොදාගනිමින් මිරිකා හරින ලද තත්වයකි. බාහිර හා අභ්‍යන්තරික පක්ෂ සාමාජිකයින් නිරතුරුවම නිරීක්ෂණයට ලක් කෙරෙන අතර පක්ෂයට විරුද්ධව යන්නෙක් බව හැඟවුණ සැණින් මොල සේදීමකට ලක් කර දමයි. නැතිනම් අතුරුදහන් කර දමයි. එකිනෙකාට තම තමාගේ යථාර්තයක් නැත. ඇත්තේ පක්ෂය විසින් මවා දෙන යථාර්තය පමණි. දෙකයි දෙකයි පහයි බව පක්ෂයෙන් පැවසුනහොත් එය පරම සත්‍යය වේ. මෙම මැවූ යථාර්තය පිලිගන්නේ හුදෙක් පක්ෂයට ඇති බියෙන් පමණක් නොව හද පත්ලෙන්ම ව්‍යාජ යථාර්තය සත්‍ය බව පිලිගනිමිනි (ද්විත්ව චින්තනයේ පිහිටෙන්).

පක්ෂය විසින් සියළු මිනිස් සබඳතා ශුන්‍ය කර දමා ඇත. පක්ෂ සාමාජිකයින්ට ප්‍රේම කිරීම තහනම් වන අතර විවාහ විය යුත්තේ පක්ෂය විසින් අනුමත කරන සහකාරිය/සහකාරයා වේ (පසුගිය සමයක මෙවැනි ක්‍රමයවේදයක් අනුගමනය කල පක්ෂයක් සිටි බව මතකයට නැගෙනු ඇත). අනිවාර්යයෙන්ම මෙම විවාහය තුල ප්‍රේමාණීය හෝ රාගික සිතුවිලි තහනම් වන අතර ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම අනෙක් පක්ෂ සාමාජිකයින්ගේ සේම නිරීක්ෂණයට ලක් වේ. ලිංගික ආකර්ශණය පමණක් නොව මාපිය දූදරු සබඳතා පවා පක්ෂය විසින් විනාශ කර දමයි. කුඩා ලමුන් චරපුරුෂ පෝතක සංවිධානයේ සාමාජිකයින් වන අතර දෙමව්පියන්ගේ "චිත්තාපරාධ" හඳුනාගෙන ඒවා චිත්තාපරාධ පොලීසියට දැනුම් දීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වේ. මෙම ක්‍රියාවන් පක්ෂය බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු දෙකකි. එකක් නම් දෙමව්පියන් නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීමයි. අනෙක මානුෂීය සබඳතා විනාශ කර දැමීමයි. 

ජෝජ් ඕවල්ගේ 1984 ප්‍රබන්ධය විසි වෙනි සියවසේ හොඳම කෘතීන් අතරට එකතු වීම එහි විශිෂ්ඨත්වය පෙන්නුම් කරයි. ඔහු එමගින් අපට ලබා දෙන්නට යන්නේ කුමක් ද?

මෙම කෘතිය රචනා කෙරෙන කාලය තුල සමාජවාදය පිළිබඳ තැබූ උසස් අදහස් ක්‍රම ක්‍රමයෙන් දිය වෙමින් පැවති අවධිය යැයි කිව හැක. ප්‍රායෝගිකව සමාජවාදී රාජ්‍යයක් ගොඩනගමින් තිබූ සෝවියට් සමූහාණ්ඩුව ස්ටාලින් විසින් අන්ත ඒකාධිපති පාලනයකට ගෙන යෑම මෙයට ප්‍රධාන හේතුවයි. ට්‍රොට්ස්කි, කමනෙව් ආදී 1917 රුසියානු විප්ලවයේ ප්‍රධානීන් ඝාතනය කරමින් මුලු මහත් සමාජයම තමාට නතු කර ගැනීමට ස්ටාලින් ගත් මග එතෙක් සමාජවාදයට හිතැති ප්‍රජාවේ කණස්සල්ලට හේතු වන අතර 1984 එලෙස ඇති වූ කණස්සල්ලේ ප්‍රතිපලයක් ලෙස කිව හැක. 

අනෙක් අතට 1984 විසින් මිනිසාගේ චිත්ත ස්වාභාවය සියුම්ව ගවේශණයට ලක් කරන සැටි අපට දැකිය හැක. අධිපතිවාදී පාලනයක් විසින් සියළු මානුෂීය ස්වාභාවයන් නෂ්ඨ කර දමන යුගයක ඒ සියළු දේ පරද්දා නැවත මිනිස්කම ස්ථාපනය කිරීමට හැකි දැයි 1984 ප්‍රශ්න කරයි. ඔහු ඒ සඳහා ලබා දෙන පිළිතුර අශුභවාදී එකකි. අනෙකුන් හිංසාවට ලක් කර තමා සතු බලය යොදා ගැනීමේ මිනිස් පරපීඩක කාමුකත්වය ඔහු උතෝපියා සිහිනයේ ප්‍රධාන බාධාව ලෙස පෙන්වා දෙයි.

"යම්කිසි කෙනෙක් තවත් කෙනෙක් වෙත සිය බලය පතුරුවන්නේ කොහොමද වින්ස්ටන්?"
වින්ස්ටන් කල්පනා කලේය.
"ඔහුට දුක් දීලා. ඔහු දුකට පත් කරලා." 
ඔහු උත්තර දුන්නේය.
"හරියට හරි. ඔහුට දුක්විඳින්න සලස්සලා තමයි. නිකම් අවනත වීම පමණක් මදි. ඔහු පීඩාවට පත් නොකලොත් ඔබ කොහොමද දන්නේ ඒ තැනැත්තා ඔබගේ අණසකට අනුකූලව කටයුතු කරනවාද නැතිනම් ඔහු තමාගේම හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවාස කියල. බලය කියන එකේ නියම අර්ථය අනුව වේදනාව දීමත්, ඔවුන් ගර්හිතයින් බවට පත් කිරීමත් තමයි කරන්නේ. බලය කියන එකේ තේරුම මිනිස් මනස අරගෙන කීතු කීතු වලට ඉරා දමා එතනට බලය හිමි තැනැත්තා විසින් තීරණය කරන ස්වරූපයක් ඇතුලු කිරීම....."
පිටු අංක 325 - 1984

1984 සමාජය යථාර්තයක් බවට පත් වීම කලාතුරකින් සිදු වේ යැයි අපට සිතීමට නොහැක. නියම ලෙස කරුණු කාරණා සැලසුනහොත් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වුව 1984 අන්දමේ පාලන ක්‍රමයකට පත් විය හැක. විශේෂයෙන්ම යුද්ධය නවීන ලෝකයේ භාවිතා වන අන්දම දෙස බලන විට 1984 දක්වා ඇති යුද්ධයේ ස්වාභාවයට සමාන බව දැකිය හැක. සෑම විටම පාලකයින් හට සම්පූර්ණ බලය හිමි වන්නේ සමාජයක් එලෙස යුද බියෙන් තැති ගැන්වූවොත් පමණි. තව දුරටත් උදාහරණ ගතහොත්, වෙළඳපොල සමාජය තුල සම්පත් හිඟකම (scarcity) යොදා ගනිමින් මිනිසා පාලනය කරන අන්දම 1984 තුල යුද්ධය භාවිතා කරමින් පාලනය කිරීමට බෙහෙවින් සමානය. මේ අතින් බලන විට 1984 යනු ස්ටාලින් හෝ හිට්ලර් වැනි කලාතුරකින් ඇතිවිය හැකි අවස්ථා නොව ඕනෑම මොහොතක අප සමාජය තල්ලු විය හැකි ආගාධයක් බව පෙනී යයි. 1984 කෘතිය වෙනුවෙන් කෙරෙන සම්මුඛ සාකච්ඡාවකදී ජෝජ් ඕවල් පහත ප්‍රකාශය කරයි. 

මා කරන්නේ අනතුරු ඇඟවීමක් පමණයි. මෙය සිදුවන්නට ඉඩ තියන්න එපා.

ආරියවංශ රණවීර විසින් පරිවර්තිත "එක්දහස් නවසිය අසූ හතර" රත්න පොත් ප්‍රකාශකයින් යටතේ ලබා ගත හැක. කෘතියට අමතරව ජෝජ් ඕවල් හා කෘතිය ලියැවුණු කාලය පිළිබඳ මනා සටහනක් ආරියවංශ රණවීර විසින් ඇතුලත් කර ඇති අතර කෘතිය අවසානයේ එරික් ෆ්‍රොම් විසින් කරන ලද ග්‍රන්ථ විචාරයක් ද අඩංගු වේ. 

අන්තිම කැමැත්ත | අගතා ක්‍රිස්ටි ලියූ Sad Cypress





එලිනෝර් කාලයිල් මෝෆීන් විස මුසු සැන්විච් කෑමට දී මේරි ජෙරාඩ්ව මැරුවාද . . .?

එලිනෝර් කාලයිල් නමට ලැබුනු නිර්නාමික ලිපිය එව්වේ කවුද . . . . ? එහි ලියා තිබුනේ මොනවාද . . ?

අංශබාගය රෝගය වැලඳී නැගිට ගැනීමට නොහැකිව සිටි ලෝරා වෙල්මන් මහත්මිය අන්තිම කැමැත්ත ලිවීම සඳහා නීතිඥයා කැඳවා තිබියදී ඊට පෙර දින මිය ගියේ සාමන්‍ය ලෙසද . . .?? මෝෆීන් ශරීර ගත වීමෙන්ද . . ??

හොප්කින්ස් හෙදියගේ අත්බෑගයේ තිබූ මෝෆීන් අඩංගු ටියුබය සොරා ගත්තේ කවුරුන් විසින්ද . . ?

අන්තිම කැමැති පත්‍රයක් නොලියා ලෝරා වෙල්මන් මහත්මිය මියගියහොත් ඇගේ විශාල බූදලයට එකම හිමිකාරිය තමා බව දන්නා එලිනෝර් කාලයිල් ඇගේ නැන්දනියට මරණාය හිමිකර දුන්නාද. . . ?

මේරි ජෙරාඩ් ජර්මනියේදී ලැබූ ඉහල ඉගෙනුම හේතුවෙන් ඈ තමා පිටුදකිනාවායැයි සිතූ ටෙඩ් බිග්ලන්ඩ් විසින් මේරි ජෙරාඩ්ව මරණයට පත්කලාද. . . ?

සැන්විච් වලට මෝෆීන් වස එක් කල මිනී මරුවාගේ ඉලක්කය මේරි ජෙරාඩ්ද . . . ? එලිනෝර් කාලයිල්ද . . ?

තමා සමඟ විවාහ ගිවිසගෙන සිටි තමා උමතුවෙන් මෙන් ප්‍රේම කරන රොඩ්‍රික් වෙල්මන්, මේරි ජෙරාඩ් කෙරෙහි උමතු ලෙස ප්‍රේමයෙන් බැදුනු බව දුටු එලිනෝර් කාලයිල් මේරි ජෙරාඩ්ව ඉවරයක් කිරීමට සිතුවාද. . . ?

හොප්කින්ස් හෙදිය භාජන සෝදද්දී මුහුන රෝස පැහැ වූයේ මුරගේ අසල ඇති රෝස ගහේ කටුවත් අතේ ඇනුනු බැවින්ද . . ?

රොඩ්‍රික් වෙල්මන් කිසිවෙකු නොමැති අවස්ථාවේ ලෝරා නැන්දාගේ කාමරයට රිංගුවේ ඇයි . . .?

මේරි ජෙරාඩ්ගේ මරණය දා හන්ටර්බරි නිවස අසල නවතා තිබූ කාරය දොස්තර පීටර් ලෝඩ් ගේ එකමද . . ?

බිෂොප් මහත්මියගේ මේරි ජෙරාඩ් කෙරෙහි ඇති අකමැත්තත් ඇගේ මරණයත් අතර යම් කිසි සම්බන්ධතාවයක් ඇත්ද . . . ???

නිර්නාමික ලිපිය ලීවේ ඕබ්‍රියන් හෙදියද . . ?

යලි ගොඩ ගන්න නියම කල ලෝරා වෙල්මන් මහත්මියගේ මිනියේ මෝෆීන් අඩංගු බව රජයේ රසපරීක්ෂක සොයා ගනීද . . . ?

ඇගේ මරනයට හේතුව මෝෆීන් බව දොස්තර පීටර් ලෝඩ් දැන සිටියාද . . ?

රහස් පරීක්ෂක හර්කියුල් පයිරට්ට මේ අභිරහස විසදීමට හැකිවෙයිද . . . ?

. . . .. . . .. . . .. .

මේ සියළුම ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍යනම් ඔබට අගතා ක්‍රිස්ටි ලියූ "Sad Cypress" පොත හෝ පූජිත කරුනාරත්න විසින් පරිවර්ථනය කල "අන්තිම කැමැත්ත" පොත බලන්නම වෙනවා . . . .

පූර්වජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක

පසු කවරයේ සටහන :
"මෙය මහාචාර්ය බ්රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්ස් වැනි ප්රකට මනෝ විද්යාඥයන් ගේ පූර්වජන්ම පර්යේෂන සිද්ධි අධ්යයනකි. සුනේත්රා එම සිද්ධි විග්රහ කරන්නේ භාවනා යෝගීන් ඇසුරෙහිද බුද්ධ ධර්මයෙන්ද සුපෝෂිත මනසකිනි. පෙර ජීවිතයක තමන් කවරෙකු වුවත් වඩා වැදගත් වන්නේ වර්තමාන ජීවිතයේ අත්වාරුව මෛත්රිය හා අවංකභාවය විය යුතු බවද කර්මයට අභි...යෝග කල හැකි ශක්තිය තමා තුලින් විනා බාහිර බලවේගයකින් ලබා ගත නොහැකි බවද පෙන්නුම් වෙන මේ කෘතිය ආධ්යාත්මික ආලෝක දහරකින් මනස සුවපත් කරයි"

. . . . . . . . . . . .. . . . . .. . . . . . .





මගේ බ්ලොග් අඩවිය මට මගේ දිහා තුන්වෙනියෙක් විදිහට බලන්න හුරු කරන තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියල මම කලින් ලිපියක් ලිව්වා දැකපු අයට මතක ඇති. ඒ වගේම මගේ පහුගිය නිවාඩුවේදී සිදුවූ විශේෂ සිදුවීම - ("රසවතිය" බ්ලොග් එක ලියන ) හෂිත හා ("සිතිවිලි" කවි බ්ලොග් එක ලියන ) සචීයුවලගේ නිවසේ තිබුනු මිතුරු හමුවේදී . . . එකම මවට අම්මා නොකීවත් එක කුස උන් සොයුරියක් මෙන් දයාවෙන් මට සලකන සචී මට තෑගි කල මේ "පූර්වජන්ම අපූර්වය" පොත, මට තවත් ඇසක් ලබා දුන්නා කියනවාට වඩා බ්ලොග් එක තුලින් ලැබුනු තුන්වෙනි ඇසේ වපසරිය, එහි නිම් වළලු තවත් පුළුල් කලා කීවොත් තවා වඩා නිවරදි.

සචී ඔබට පිං . . .

එසේත් නැත්නම් ඔබ ලඟදී පටන් ගත් ඔබේ "සිතිවිලි" කවි බ්ලොග් අඩවිය සාර්ථකවේවා කියා පතන්නම් ඒ පිනෙන්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මම පුංචි කාලේ අපේ අසල්වැසි නිවසක පූසියෙක් හිටියා. මේ පූසිට පැටව් හම්බුවුනු දෙපාරකම මේ පූසිම ඒ පැටව් ටික ඔක්කෝම කෑවා. අපේ ගෙදාර පූසි නොවුනත් මේ සිදුවීම පුංචි අපේ (අක්කගේ මගේ නංගිගේ) හිත් බොහෝම සසල කලා මට මතක හැටියට. අපේ හිත් හදන්න අම්මා දුන්නු පිලිතුර තමයි "ඒ පූසි ගේ පෙර ආත්ම වල වෛරක්කාරයෝ තමයි එයගේ බඩෙන් ඉපදිලා තියෙන්නේ. . . ඉතිං ඒ පෙර ආත්ම වල ඉඳන් පතාගෙන එන වෛරය මේ ආත්මෙත් පිරිමහගත්තා. ඔයාලා වැඩිය දුක් වෙන්න එපා ඒ ගැන. ඒ කර්මය හෙවත් කරුමය"

උපතින් බෞද්ධයෝ වුනත්, ඒ කාලයේ දිනපතා පන්සිල් ගත්තා වුනත්, ඉරිදාට දහම් පාසැල් ගියා වුනත්, පෝයදාට පන්සල් ගියා වුනත්, බෝ මලුවේ - විහාර ගේ පෙරලි පෙරලී වැන්ද වුනත්, හාමුදුරුවෝ කියන බන කතා සාවදානව අසා සිටියා වුනත්. . . ඒ අපේ පුංචි බෞද්ධ හිත් වලට අම්මා කියූ ඒ කතාව කොයි විදිහකින් ජීර්ණය වුනාද කියා නම් මතකයක් නැත.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කුඩා කල අප විසූ නිවස අසල නාලනී ඇන්ටිලගේ (අන්වර්ත නාමයකි) නිවසට අප බොහෝ සවස් වරුවන්හි ගියේ රූපවාහිනියක් ගෙනාවොත් දරුවන්ගේ ඉගෙනීමට බාදා වෙයි කියා සිතූ අපේ තාත්තගේ සිතුවිල්ලට පින්සිදු වෙන්නටයි (ඒ වුනාට ඊට වඩා ගෙදර තිබූ දේශපාලන රැස්වීම් නිසා ඉගෙනීමට බාදා වූ බව දැක්කත් නොදැක්කා වගේ සිටියේ ඇයිදැයි නොදනිමි)

නාලනී ඇන්ටිගේ සැමියා පියසිරි අන්කල් ඉතාම අහිංසක හිනාවක් තිබූ එපමනටම අහිංසක මිනිසෙක්. පියසිරි අන්කල්ට පියාගෙන් ලැබුනු නිවසේ පදිංචිවී සිටි ඔවුන් දෙදරු පවුලක්. ඔවුන් දෙපලගේ දිවිය ගැන කුඩා කල සිට මගේ සිත විමසූ ප්‍රශ්න බොහොමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත මට පිලිතුරු දුන්නා කීවොත් එයයි සත්‍ය.

නාලනී ඇන්ටි පියකරු කාන්තාවක් වුවත් නිතර සිටියේ මූනට අබ ටිකක් දැම්මොත් පිපිරේවි යැයි සිතෙනා තරම් නපුරු මූනකින්. අප සමඟ කතාබහේදී සුහදශීලී ලෙස සිනාසුනත් එකම වත්තේ විසූ පියසිරි අන්කල්ගේ සහෝදර සහෝදරියන් දුටු විගස අර සුපුරුදු අබ පිපිරෙන මූන කෙසේ දමා ගන්නවාදැයි එකල කුඩා මට ව්ශාල ප්‍රශ්නයක්. ශෝචනීයම දේ නිතර අසල්වැසියන් සමග සුහදව සිනාසෙන කතාබහ කරන පියසිරි අන්කල් දුටු විගස නාලනී ඇන්ටිගේ අබ පිපිරෙන මූන අන් අවස්තාවාට වඩා රෞද්‍ර වීමයි.

තාත්තා ගෙදර නැති දිනවල රූපවාහිනිය නරඹන්න ඔවුන්ගේ නිවසට යාම අපට අප්‍රිය කල එකම සිදුවීම එයයි කීවොත් එය කිසිවිටෙකත් බොරු නොවේ. වැඩිහිටියන්ට තවකෙනෙක් ගැන, යම්කිසි සිදුවීමක් ගැන ඔවුන්ගේ හිතේ පැවති නොරිස්සුම් ගතිය සඟවාගෙන සිටිය හැකි වුවත්, බොරු සුහදත්වයක් පෙන්වා කතාබහ කල හැකිවුවත් අව්‍යාජ ළමාවියේ සිටි අපට එය අපහසු කාරියක් වූවා කියා හොඳින්ම මගේ මතකයේ රැඳේ තිබෙනවා.

පූර්ව ජන්ම අපූර්ව කියවා නැති, එවැනි මනෝ විද්‍යාව ඇසුරින් ලියවුනු පොත් පත් කියවා නැතැයි විශ්වාසයෙන් පැවසිය හැකි පියසිරි අන්කල්ගේ අහිංහසක මුහුන මගේ ඉදිරියේ මේ දැන් මැවී පෙනෙන විට නාලනී ඇන්ටි පියසිරි අන්කල් සමග පූර්ව ජන්මයක දී බැඳගත් වෛරයක් මේ ආත්මයේ දී පිරිමහගන්න උත්සාහ කරනවා යැයි මට මේ පොත කියවූ පසු දැනුනු හැඟීම, අවබෝදය පියසිරි අන්කල් එදා කොහෙන් ලබා ගන්න ඇත්දැයි සිතන විට මට සිතෙන්නේ ඔහුගේ ඒ ඉවසීමේ ශක්තිය වෙනුවෙන්, ඒ අහිංසක හදවතින් විඳි වේදනාව වෙනුවෙන් එදා ඔහුගේ අතින් අල්ලාගෙන මට විනාඩියක් වත් අඬන්න තිබුනානම් අද මට ඔහු වෙනුවෙන් දැනෙන මේ වේදනාව වේදනාවක් නොවන්න තිබුනා නොවේදැයි කියායි.

. . . . . . . .. . . . . . . . . . . . . .. . . . . . .. . . . . . . . . .. . . .

අක්කාත් නංගීත් විවාහ වී නිවසින් වෙන්වී මා පමනක් නිවසේ නිවසේ සිටි කාලයේ අම්මාගේත් තාත්තාගේත් රන්ඩුවක් දුරදිග ගොස් ඔවුන් සති දෙකක් එකිනෙකට කතා බහ නොකර සිටි කාලයක දෙදෙනාගේම තෝල්කයා වීමේ (අම්මගේ පනිවිඩ - තාත්තට කෑම කන්න කියන්න. බෙහෙත් ටික වතුරත් එක්ක මේසේ උඩ ඒක බොන්න කියන්න . . .. තාත්තගේ පනිවිඩ - අන්න මම දැල්ලෝ වගයක් ගෙනාව ඒක උයන්න කියන්න. ලයිට් බිල් ගෙවන්න සල්ලි මගේ සාක්කුවෙන් ගන්න කියන්න . . . ආදී වශයෙන්) කාරියට ඇති මගේ අකමැත්ත මා පිටකලේ මෙසේයි . .

"මේ මොන කරදරයක්ද . ."

"දැන් අවුරුදු විසිපහක් විතර තිස්සේ රන්ඩුවෙලත් තාම ඉවර වෙලා නැද්ද?"

"දැන් අපි ගැන හිතනන් ඕන නෑ නේ . . . "

"අර දෙන්න බැන්දා මම ජොබ් එකක් කර්නවා . . . "

"ඔය දෙන්නා ඩිවෝස් වෙලා ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ඉන්න පුලුවන් දෙන්නෙක් හොයගෙන බැඳ ගන්න . . .
මොකටද රන්ඩු වෙවී ඉන්නේ . . ."


අම්මගේ පිලිතුර උනේ :

"පෙර ජාති වල ඉඳන් තිබුනු තරහක් වෙන්න අති බන්."

"ඔන්න ඔහේ ඒක මේ ආත්මෙම ගෙවලා දානවා. නැත් නම් ලබන ආත්මෙකදීත් ගෙවන්න වුනොත් . . ."

තාත්තගේ පිලිතුර වුනේත් :

"ඔව් ඔව් පෙර ජාති ඉඳන් තියෙන ගනුදෙනුවක් වෙන්න අති."

ඒ කාලයේ පූර්ව ජන්ම අපූර්වය කියවා නොතිබුනත් පුනර්භයව කර්මය ආදී දේවල් ගැන පත පොතින් ලත් දැනීමෙන්

"ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහින් නැටි දෙක වත් ඉතුරු වෙන්නේ නැතැයි"

කියලා සිතා හිත හදාගත්තු හැටි මතකයි. ඒත් ඔවුන්ට සතුටුන් ඉන්න හොඳින්ම පුලුවන් කමක් තිබියදෙත් නිරපරාදේ ඒ සතුට නැති කරගෙන ජීවිතේ දුක් විඳින හැටි දුටු මට ඔවුන්ගේ දුක වෙනුවෙන් අඬන්නද ඔවුන්ගේ රන්ඩුවේ වචන වලට සිනාසෙන්නද කියා සිතාගත නොහැකි වූ මට එය උපෙක්ෂාවෙන් දරා ගන්න පිච්ච මල පොත් සෙට් එකේ රාහුල හාමුදුරුවෝ "හ්හ්ම්ම් ඒකත් එහෙමද" කියා කියවා වැනිව ඇසුනා විය හැකියි . .

. . . . .. . . .. . . .. . . . .. . . .. . . .

කාලයක් මගේ හොඳම මිතුරෙක් වී සිටි නමුත් මගේ බ්‍රේක් නැති කට හෙවත් හිතේ තියෙන දේ කෙලින්ම කියන (ගොඩක් අය මගේ නරකම දේ ලෙස සිතුවත් මගේ හොඳම දේ කියා මා සිතන ) ගතිය නිසා මගෙන් දුරස්වී සිටින රිසිත විදුමිනි විජේසේකර (අන්වර්ත නාමයකි)ගැන මා සිතේ වූ සංකා බොහෝමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත පිලිතුරු දී ඒ සංකා නිමා කලා.

යහපත් කාරුනික දෙමවුපියන් (පියාගේ විශ්‍රාම වැටුපෙන් නඩත්තු වන), දයාබර එකම සොයුරිය, වැදගත් නෑදෑ පිරිස, මාපිය උරුමයෙන් ලැබුනු නිවස, වසර ගනනාවක රැකියාවෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් නව නිවස, වාහන කීපය, දුටුවනම පෙමින් බැදී කරදර රාශියක් මැද පෙම් සටන් දිනා විවාපත් රූමත් බිරිඳ, දඟකාර පුතනුවන්, දයාබර මිතුරු මිතුරියන් කැලක් . . . මේ සියලුම දේවල් වලින් පරිපූර්න වූ කෙනෙකුට "ජීවිතේ සුන්දරද මෙතරම්" කියා නොසිතා විහින් ඇති කර ගන්නා ප්‍රශ්න ගොඩක පැටලී . . .

සියලුම මිතුරන් අමනාප කරගෙන, දෙමාපියන් සහෝදරිය ප්‍රශ්න ගොඩකට ඇද දමා, බිරිඳ සමඟ දන්නා තරමින් කිසි හේතුවක් නොමැතිව දබර කරගෙන ඇගෙන වෙන්වෙන්න කටයුතු සකස් කරමින් ඔහු මේ සතුටු විය යුතු . . . විය හැකි ජීවිතය . .. කුමක් නිසා විඳවනවාදෝ කියා මා සිතූ දේට ආසන්නම පිලිතුර ලෙස මේ පූර්ව ජන්ම අපූර්ව පොතේ පේද්‍රෝස් සහ එලිසබෙත් පූර්ව ජන්ම වලදී මුහුන දුන් සිදුවීම් නිසා මේ ජන්මයේදීත් ඒ පූර්ව ජන්ම වල අහිතකර බලපෑම් හේතුකොට ගෙන ඒ බලපෑමෙන් මිදිය නොහැකිව තැවුල් විඳින බැව් පසක් වූ පසු වයි මාගේ සිතෙන් ඔහු ගැන විමසමින් සිටි දේවලට පිලිතුරු ලැබුනේ. ඔහු නිසා හදවතේ ඇති වූ පරන තුවාල කැලල් සුව වූයේ . .

. . . . . . . .. . . . . .. . . .. . . . .

කොටින්ම සුනේත්‍රා පවසන පරිදි නැතිනම් ඈ ප්‍රාර්ථනා කරන පරිදි මේ පොත කියවීමෙන් පසු . . . .මගේ හදවතේ කාලයකට පෙර ඇනී තිබුනු කවදාවත් නොගැලවේවී කියා සිතූ කටු බොහොමයක් දෑස් ඉදිරිපිටම ගැලවී වැටෙනු මා දුටුවා . . . . . අද හෝ හෙට වෙන කිසිම කටුවක් සදාකාලිකව නො ඇනෙන ලෙස හදවත ගල්වෙනු / මෙලෙක් වෙනු මා දුටුවා . . . . . කවදාවත් සුව නොවේ කියා මා සිතූ හදවතේ කාලයකට පෙර, අද, ඊයේ සිදුවී තිබුනු තුවාල සියල්ලම වාගේ සුවවෙනු මට දැනුනා . . . . . යලි කිසි දිනෙක තුවාල නොවන සේ ස්වයං ප්‍රතිශක්තියක් එය විසින්ම සකසා ගනු මට දැනුනා. . . !
. . . .. .. ..

ඉදින් එතරම්ම ශාන්තියක් මට ලබා දුන් මේ පොත ගැන ඔබට කීමට තව පමා වෙන්නේ ඇයි.

පොත ලියූ සුනේත්‍රා රාජකරුණානායක ටත් බොහෝම පිං . .

දඩ බිමක් පමණක්ම නොවූ දඩබිමෙන් දඩබිමට



වනය මොන තරම් සුන්දර ද. ගුප්ත ද ? රහස් කොතරම් සගවා ගෙන ඇත්ද?

අපි මොනව නම් වනය ගැන දන්නේ ද? අබැටක්, ඇහි පිහාටුවක් තරම්වත් දන්නවද?
වනය ගැන තොරතුරැ දන්න හොදම පිරිස තමයිඈත හිමව්වේ පෙම් මල් පුබුදන,
කැකුලන් වැල් ගාටවන, ලේනුන් කී ගාන ජාමේ බඹර කපන අපේ අදි වාසීන්  නොහොත්
සුද්ද සිංහලෙන් " වැද්දන්".

හීනියට දහදිය දමන මොහොතක ඇත් දෙමට ගසක් පාමුල පූ වලක් හාරා වතුර ටිකක්
බීල තලගොයෙක් බරැ ගහල පුළුටු කන්න තරම් අපිට නිදහසක් තියේද? අපි ඒ තරම්
වනවාසී ද?

නමුත් ඒ සොදුරැ නිමේෂයට මොහොතින් ඔබේ අභිමුව ප්‍රාදූර්භූත කිරීමට සමත්
සුන්දර වන කතාවක් ගැනයි මේ කියන්නේ.
පොත - දඩබිමෙන් දඩබිමට
කර්තෘ - දඹානේ ගුණවර්ධන (උපාධිධාරී)

කතා නායක බුරදා පුෂ්ටිමත් වැදි තරණයා සමස්ත වැදි පුරැෂයන්ගේ පරමාදර්ශයක්
බදුයි. ඔහුගේ ක්‍රියාකාරකම් සියල්ල වැදි ජීවිතයේ හරස්තඩක් බදුයි.

එමෙන්ම කතාව පුරා සියුම් ලෙස දිවෙන ධ්වනිථාර්ථයක්බදු වැදි සංස්කෘතිය මෙහි
එන සියලුම චරිත තුළින් මූර්තිමත් වෙයි. මින් වහනය වන සුවද දිගේ අපේ
අතීතයට පිය මැනීමට ඕනෑම අයකුට පුළුවන.

පොත කියවා අවසන් වන විට සිතට නැගෙන්නේ මෙන්න මේ ව‍ගේ හැගීමක්
...ශිෂ්ට සම්පන්න ලෝකය යැයි අප සලකන මේ සංකීරණ නාගරික සමාජ වලට වඩා
ප්‍රාථමික සමාජ කොතරම් ශිෂ්ට සම්පන්නද ....

මේ පොත තුළින් මතුවන සමාජ විද්‍යාත්මක සහ සමාජ මානව විද්‍යාත්මක කරැණු
සෙමෙන් විමසා බැලීමට පාඨකයා උනන්දු විය යුතුය.

ඉතාම රසවත් තැනකින් සටහන නවත් වන්නම්,
" ...රාත්‍රිය පුරාම වාගේ පැහැදිලි සද එළිය තිබෙන බැවිනුත් මේ කාලය
සිසිල් සුළං හමන කාලයක් නොවන බැවිනුත් ගිනි ගොඩක් දැල්වීමට අවශ්‍ය නොවීය.
මැදියම් රෑ වන තෙක් ම ඔවුන්ගේ කටයුත්ත වූයේ තලාවේ කෙළින මුවන් දෙස බලා
සිටීමයි. ....ඇතිරිල්ලක් සේ බිම මත වැඩුණු නිල් තණ පිටියේ ඒ මේ අත දුවන
මුව රංචු දෙස දින ගණනක් වුවත් නොසෙල්වී බලා සිටිය හැකිය..."

අම්ම රහට උයන පොළොස් ඇඹුලෙන් වහනය වන සූදුරැ-මාදුරැ සුවද මේ පොත කියවන
විට දැනේ. ඒ වගේම බුරදාගේ සහ කළුකුමීගේ ළයාන්විත ලෝකය මා ඉදිරියේ මැවී
පෙනේ. ඒ මේ පොතින් වහනය වන ආවේණික සුවදෙනි.
දඩබිමක් පමණක්ම නොවූ දඩබිමෙන් දඩබිමට කියවලම බලන්න.

කෙටි කරපු දිග කතා

මා අසළ ඇති පොත ගැන මෙසේ පළමු සටහන පොත් ගුල තුල ලියා තබමි.

කැමති කෙනෙකුට මෙය කල්ඉකුත් වුනු පොතක් ලෙස වර්ග කල හැක. එහෙත්! මෙය කියවන ඔබ අප මුහුණ සැබෑජිවි‍තයේ මුහුණ නොදුන් එහෙත් අපේම භූමියේ අප සමඟ සිටගත් තවත් සහෝදර ජනතාවකගේ ඉරණම් කථාවයි..

පොත නමින් "කෙටි කරපු දිග කථා"වේ. පිටකවරයේ ඉදිරිපස සිට කවරයේ පිටුපස පිටුව දක්වා ඇත්තේ අඳුරකි.. අළු පාට පිටකවරයේ කාබන් පෑනකින් ඇදි කුරුටු සිතුවමකි. ඒ අසලින්ම පිළිවලක් නැති අකුරු වලින් කුමාරි යැයි සටහන්ව ඇත. කුමාරි කවුදැයි දැනගන්න පොතේ පිටු තුලට යා යුතුය.. ඇය නමින් කුමරි කුමාරගමගේ වන්නීය.. ඔබ ඇය නාදුනයි නම් ඇය පිටුපස පිටකවරයේ ඇතුල් පැත්‍ත බැලීමෙන් දැකගත හැක.. මැදිවිය පසුකරමින් සිටින ඇය කුමාරි කුමරගමගේ යැයි සැක කරනවා හැර අපි වෙන කුමක් කරන්නද?

මම මෙයින් වැඩි යමක් නොලියමි.. කුමාරි විසින් දිලීප නමින් පිදූ එම පොතේ ඇති අකුරු වලට ඔබ හා දොඩන්නට ඉඩ දී මම මගේ අදහස් අහවර කරමි.. තව එක් දෙයක් කිව යුතුව ඇත.. මේ අඳුරු අතීතය සෙමින් මැකී යමින් පවතින්නේ යැයි වර්තමානය අපට පවසයි.. එහෙත් එය මැකී ගියද එහි සෙවනැලි හා අළු යට සැඟව ඇති ගිණිපුපුරු තවම උණුසුම් බවද පවසමි..

"තවත් එක් දෙයක් කිව යුතුය. මේ ලියා ඇත්තේ නැගෙනහිර හෝ ලංකාවේ ඉතිහාස කථාව නොවන බවයි. මෙය විශාල පිංතූරයේ ඉතාම පුංචි කොටසක් පමණි. සේ කොටසින් මුළු පිංතූරයම තේරුම් ගත නොහැකිවාක් මෙන්ම මේ පුංචි කොටස නැතුව පිංතූරය සම්පූර්ණ නොවන බව මම විශ්වාස කරමි. "
කුමාරි
2007 නොවැම්බර්
කොළඹ

පාර්වතී
........
........

රෑ 7 පහු වුනාම අවට ගෙවල් වල කිසි කෙනෙක් ‍එළියට බහින්නේ නැහැ..පාර්වතී කොලුවත් එක්ක 7 වෙනකොට දොර අඟුලු දාගෙන ගේ ඇතුළට වෙනවා.."මොකද මේක එක එක තුවක්කුකරුවන්ගේ පාරාදීසයක්" පාර්වතී කිව්වා..
"හදිස්සියේ වත් චූ බරක් හැදුනොත්?" මම ඇහුවා.. එයා අයිත් හිකි හිකි ගාලා හිනා උනා..
2007


පොන්නුදුරෙයි
අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කරේ නැහැ.. ඉස්සරහට කරන්නෙත් නෑ..බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කලේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක.. අපිට ඉන්නේ දෙයියෝ විතරයි නෝනා..දෙයියො කොහොම හරි මගේ පුතාට ගෙදර එන්න සලස්වාවී..
....
...
..
දෙමළ වෙලා ඉපදුනු පාපෙට දෙයියො මොනා කරන්නද?
2007

මව්වරු හා දරුවන්
එල් ටී ටී ඊ එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුන බයිසිකලේ ඉල්ලලා. එයා කියලා අනේ එක නම් දෙන්න බෑ කියලා..ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියලා..උන් ඒක අහන්නේ නැතුව බයිසිකලේ ළඟට යද්දි බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට කරදර කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියලා.ඒත් උන් බයිසිකලේ අතඇරලා බල්ලාගේ කණට වෙඩි තියලා

ගෙදර ආපු කොණ්ඩේ කපපු ළමයි
"අපි ආයේ ඔයාව බලන්න ආවොත් මොනවද ගේන්න ඕනේ?"

එයා අම්මාගෙන් ඇස් ගලවගෙන ආයිත් මගේ ඇස්වලම පටලගත්තා.. දකුණු අතේ දබරඇගිල්ලෙන් එයගේ ඔළුවේ බෑන්ඩ් එක පෙන්නවා..
"ආ.. ඔළුවේ දාන බැන්ඩ් එකක්.. හ්ම්ම්ම් මොන පාටද?"

ඒ ඇගිල්ලම මගේ ෂර්ට් එක පැත්ට දික්කරා..මම ඇ‍දගෙන හිටියේ රතුපාට ෂර්ට් එකක්.. ෂර්ට් එක දිහා බලපු ඇස් උස්සන්න ඉස්සෙල්ලා මට පළමු වරට එයාගේ කටහඬ ඇහුනා.
"දෙකක්"

මම ගැස්සිලා එයා දිහා බැලුවා.. එයා ඇඟිලි දෙකක් පෙන්නුවා..
"එකක් මට,අනෙක එයාට..."

සිත්තාන්ඩි
කවුද ඉතිං වෙඩි තියලා තියෙන්නේ?

දන් නෑ

ඒල් ටී ටී ඊ ය ද?

නෑ

කරුණද?

නෑ

වෙන කණ්ඩායමක් ද?

නෑ

හමුදාවද?

දන් නෑ

අපිත් ආසයි සිංදු අහන්න.
කන්මනි කන්මනි එන් කාදලීයේ..

ආ.. අක්කත් ආසද? අපිත් හරි ආසයි ඒකට විතරක් නෙවෙයි.. එයාගේ හුඟක් සිංදු වලට ආසයි..අක්කා දන්නවාද අපි ආසම ගායකයා සංගීත්
....
....

ඇයි අක්කේ දෙමළ කථා කරන අයට ඒ ගොල්ලෝ බයද? ඒගොල්ලෝ දෙමළ අය එක්ක තරහද? ඒ වුනාට සංගීත් දෙමළෙනුත් සිංදු කියනවානේ..
...
...
...
එයාට කියන්න කොණ්ඩේ වැවුනම අපි කෝච්චියෙන් එනවා කියලා එයාව බලන්න හරිද? ඔන්න අමතක කරන්නෙපා..

දැනට ඇති ඉතිරි කියවීම් ඔබට බාරයි.. වසර 30ක දිගු කතාවක් කෙටි කරපු කුමාරිගේ පොතේ පිටු205 මම අකුරු 205කට ගොනුකිරීම වැරදි මුත් මම මගේ කොටස ඉටු කලෙමි. ඉතිරිය ඔබට බාරකරමි. දෙමළ කෙල්ලන්ගේ කොටට කැපී කොණ්ඩය දැන් ‍වැවෙනවා ඇති.. එය පිච්ච මලින් සැරසිය හැක්කේ ඔබටයි...!!
අවසානයට පෙර කුමාරිගේම වචන වලින් ඔබට සමුදෙමි.

හේමලතාගේ මට මෙන්ම
පාර්වතීටද
පරමේෂ්වරීටද
නන්දිනීටද
කාලිකුට්ටිටද
අප්පු,පොන්නුදුරෙයි හා කුහලන්ලාටද
නම් නොකියවුනු අම්මලාටද
‍නම් නැති නූ ළමයින්ටද
මේ පොත උපහාරයක් වේවා..
මන්ද,මෙහි වචන සහ පින්තූර ලෙස ඇඳී ඇත්තේ ඔවුනගේම ජිවිත බැවිනි.


සටහන - මලී

තැපැල් කන්තෝරුව

පොත් ගුලට මවිසින් ලියන පලමු ලිපිය මෙය වන අතර,මෙය මා කියවා තිබෙන ආකර්ෂණීයම පොත් අතර මුල් තැනක් ගනී.මෙම කෘතිය කාමය,සුරාව මුල් කරගත් ජීවිතයක විනාශය ප්‍රධාන භූමිකාවටද නොදැනෙන පරිදි විකාශණය කරයි.පොත නම් ෂ්රීනි අබේගුණරත්න පෙරේරා විසින් පරිවර්ථිත තැපැල් කන්තෝරුවයි.මෙය පිළිබඳව මා මෙහි ලිවීමට පෙර මවිසින් මෙම කෘතිය බින්කු සහෝදරයාට යෝජනා කල අතර,ඔහුගෙන් මේ කෙරෙහි ඇතිවූ ප්‍රසාදය හේතු කොට ගෙන ජර්මානු ජාතික චාල්ස් බුකොව්ස්කි විසින් රචිත The Post Office හී පරිවර්ථිතය පිළිබඳ ලියන්නට සිත්වීමි.

මෙම කතෲවරයා බොහෝදුරට කාමුකත්වය සහ බේබදුකම හේ ගේ කෘති වල උච්ඡස්ථානයක තබා කටයුතු කර තිබෙන අතර,මොහුගේ අනෙකුත් කෘතීන් අතර වන කාමුකයාගේ දිනපොත සහ බේබදු මිත්‍රයා වැනි කෘතීන්ගෙන් මනාව පැහැදිලි වෙයි.වැඩි දුර සොයා බලන කල මෙහි දීර්ඝ ලෙස ජර්මානු සමාජය ව්‍යුත්පන්න කරයි.සිද්ධිය ඇරඹෙන්නේ රැකියාවේ නියුතු වන හෙන්‍රි චයිනාස්කි හෙවත් කතානායකයාගෙනි.රැකියාව තැපැල්කරුය.පුරුදු පරිදි මෙහි ආරම්භයද ස්ත්‍රීත්වය මදක් පහල හෙලීමකි.
නරකම නැත.එනමුදු තුන්වෙනි හෝ හතරවෙනි වරට ඇය සමග යහන්ගත වූ පසු අන් සෑම ගැහැණියක අරඹයා මෙන් මැය ගැනද ආශාව හීන වූයෙන්නැවත එම දිශාව නෝ නොබැලුවෙමි.
ඔහු සිතින් තම ජීවිකාව පිලිබඳ ආඩම්බර වෙයි.
දෙවියනේ ලියුම්කාරයෝ. . .ඇත්තටම මොවුන් අතින් සිදුවන්නේ කුමක්ද?ලියුම් පෙට්ටි තුලට ලියුම් එබීමත්,ගැහැණුන් සමග නිදිවැදීමත් විතරමනේ.ෂා. . .!මටම කියාපු රස්සාව.ඕහ්. . .ඔව්...ඔව්...
චයිනාස්කි සුපුරුදු පරිදි තමාගේ ප්‍රධානතම මිතුරන් වන කාමය සහ සුරාව සමග වෙළෙමින්. . .මුල් පරිච්ඡේද තුල පරහට සිටින ඔහුගේ ආයතන ප්‍රධානී ජෝන්ස්ටෝන් සමග ගැටෙමින් අවසානය තෙක් කතාව දිව යයි.එහෙත් කිසි සේත්ම ඒකාකාරී ගතියක් දැනෙන්නේ නැත.
ප්‍රධානියා වුනේ කුළු මීමෙකු මෙන් ගෙලක් තිබූ ජෝන්ස්ටෝන් නැමැත්තෙකුය.එහි සේවක අඩු පාඩුවක්නිරන්තරයෙන්ම තිබුණතර,එයට හේතුව ඉක්මනින්ම මා හට අවබෝධ විය.
මහන්සියත් සමග රැකියාවේ එපාවීම්,ස්ථීරවීම්,දික්කසාද,සොරකම්,මුළු ගැන්වීම්,නිදි වැදීම්,සූදුව,සුරතල් සතුන්,ගණිකාවන්,ආහාර,දේපොල, මිනීමරුවන්,සිගරට් අළු මිශ්‍රිත බියර්,ජින්,වොඩ්කා,කාර්,අවමගුල්, රම්,දරුවන්,දඩයම් ඔස්සේ දිගහැරෙන උදාසීන අවසානයක් සහ සිතීමට යමක් ඉතිරිකර චාල්ස් බුකොව්ස්කි මෙහි අවසන් තිත තබයි.
පසු දින උදෑසන,උදෑසනක්ම වූ අතර,මමද පණ පිටින් සිටියෙමි.බාගවිට,පොතක් ලියන්නෙමැයි සිතුවෙමි.ඇත්තෙන්ම ලීවෙමි.

ලිව්වේ : මුචලින්ද

මම රාත්‍රිය වෙමි
















නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...

නීට්ෂ 'අධිෂ්ඨානය' නම් සංකල්පයක් 'තණ්හාවට' අනිත් පස තැබුවේය. නිට්ෂ ගෙ දර්ශනය ගැන සිංහලෙන් ලියැවුන පොත් එකකි. ගුණපාල ධර්මසිරි නීට්ෂ ගැන පමණක් නොව අනෙකුත් දර්ශන-දර්ශනාන්තරයන් පිළිබඳවද ප්‍රමාණිකයෙකි. ඔහු නීට්ෂ ගැන ඉහත කී එකම පොත ලිවීය. 1980 දශකයේ අගට වන්නට සාංදෘශ්ඨික වාදය ගැන විවිධ වාද-ප්‍රවාද විසින් කොළඹ මතාන්තර අවකාශය ගිලගති. 1988-89 කැරළි සමයත් 'අහිමි විප්ලවයත්' විසින් ඇති කිරීමට නියමිත රික්තකයට අවශ්‍ය වූ 'ගුප්තවාදයන්' ප්‍රචලිත වෙමින් පැවතිණ.


1988මම රාත්‍රිය වෙමි පළවන්නේ මෙකී පූර්විකාවේ කොටසක් ලෙස යැයි මට සිතේ. හේමරත්න ලියනආරච්චි අපට සිටින අනගි ලේඛකයෙකි. ඔහුගේ 'මම රාත්‍රිය වෙමි' ෆ්‍රොයිඩ්,නීට්ෂ හා ගෞතම බුද්ධ එක පෙළට සිටවමින් පසුව සිදුවූ විවිධ හරඹයන් ගේ මූලාරම්භය ද? සංයුක්ත පිළිතුරක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැත.

හේමරත්න ලියනආරච්චි රෝගාතුරව සිටින බව නදීජා කීවා ය.


'මම රාත්‍රිය වෙමි' මුල් වරට කියවුවා ට පසු පසුගිය දශක දෙක පුරා එහි පිටපතක් සොයමින් පොත් කඩ පීරූ මුත් එකක් සොයා ගත නොහැකි විය. 2008 නැවත වරක් 'මම රාත්‍රිය වෙමි මුද්‍රණය වී ඇත. මුල් වර කියවූවාට පසු නැවත යොවුන් ආවේගයකින් යුතුව එය කියවීමට පටන් ගත්තේ මරදානේ ආනන්දය ඉදිරිපිට බස් නැවතුමෙදී ය. එය දෛවෝපගත සිදුවිමක්ද?

'ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයෙහි සිතෙහි කිසියම් ආරක්ෂා සහගත බවක් තිබිණ.' - 29 පිට

ඊයේ රාත්‍රියේ දස්තයෙව්ස්කි මා බලන්නට ආවේ ය. – 1 පිට


මේ කිසිදු සිංහල නවකතාවක හමුවන වැකියක් නොවේ. 'මම රාත්‍රිය වෙමි' 1960 දශකයේ සමාජ පසුබිම මත පිහිටා ලියැවුන, හරි හමං විචාරයකට ලක් නොවූ කතාවකි. බණ්ඩාර ගේ 'භින්නෝන්මාදී' මනසින් එළියට එන්නේ 'පසු නිදහස්' යුගයේ උපන් භින්නෝන්මාදය යැයි මට හැඟේ.

එවිට මම බණ්ඩාර නොවෙමි. මම චරිතයක් වෙමි. වචන ගොඩක් වෙමි. අකුරු ගොඩක් වෙමි. – 17 පිට

මේ ටෙක්ස්ට් -text’ හෝ කතිකා ව-discourse’ හෝ යනුවෙන් පසුව ඇතිවූ විදාරණයේ පෙරවදන යි. අමරසේකර (යළි උපන්නෙමි ) ගුනසිංහ (හෙවනැල්ල ) අජිත් තිලකසේන (පිටුවහල් කර සිටිද්දී ) ආදී කතා කරුවන්ගේ පෙළෙහි ඊළඟ පොත 'මම රාත්‍රිය වෙමි' විය යුතුය.

තාත්තා එක්ක යකෙකුටවත් ඉන්න බෑ. මම ඇත්ත කියන්නම්, මට අනන්ත හිතිල තියෙනවා තාත්තා ව මරල දාන්න.....සහතිකයි... – 97 පිට

මචං, ආනන්තරිය පාපයක් වෙච්ච පීතෲ ඝාතනය; ඒක උරුමයක් වෙච්ච.. ඉතිහාසයක් වෙච්ච අපේ අතින් සූත්‍ර ගත නොවුනේ ඇයි?’ මම සමන් ගෙන් ඇසීමි. මචං 1976 විතර ආපු 'ජෝර්ජ් ඊ වීරකෝන්' ගේ 'පුතේ උඹේ මාළිගාව' කියවලා තියෙනවද?’ සමන්ගේ පිළිතුර ජනේරු දා දුරබණන ජාල තදබදයෙහි කැඩි කැඩි ගිලි ගියේය.


මම ආසා පොත් එක් එක් ගොණු වශයෙන් රාක්කයේ එක තැන තැබීමට ආසා කරමි. සිද්ධාර්ථ ගරුසිංහ පරිවර්තනය 'මම රාත්‍රිය වෙමි' හා එක තැන තැබීම මගේ කැමැත්තයි.


නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...