Showing posts with label චමිල ද අල්විස්. Show all posts
Showing posts with label චමිල ද අල්විස්. Show all posts

වහලක් නැති මාලිගාව - Of Mice & Men - John Steinbeck



අපි හැමෝම හීනයක් නිසා ජීවත් වෙන මිනිස්සු. කවදාහරි ඉටු කර ගන්නවා කියල හිතා ගන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන්න නිසා තමයි තවත් දවසකට ඇහැරිලා ඒ දවසේ දුක් කම්කටොලු විඳගෙන ඉවසගෙන ඉන්නෙ. සමහර වෙලාවට අපිටම බරක් වෙන මේ හීනය සැබෑ කර ගන්න අවස්ථාවක් හැමෝටම ලැබෙනවද? 

"වහලක් නැති මාලිගාව" කියන්නේ ප්‍රසිද්ධ ඇමෙරිකානු ලේඛකයෙක් වෙන ජෝන් ස්ටයින්බෙක්ගේ Of Mice & Men කියන පොතේ සිංහල පරිවර්තනය. කවදා හරි සැබෑ කර ගන්න බලාපොරොත්තු වෙන ඒ ගැන වෙහෙසෙන පුංචි ගොවිපලේ හීනය උඩ ජීවත් වෙන චරිත දෙකක් වටේ තමයි කතාව දුවන්නෙ. 
ලෙනී, මානසිකව ලමයෙක්ගෙ තත්වයේ ඉන්න වැඩිය ලෝකය ගැන වැටහීමක් නැති ශාරීරිකව යෝධයෙකුගේ ශක්තිය තියෙන චරිතයක්. ඔහුට තනිවම සමාජය ඇතුලේ විනාඩියක්වත් ජීවත් වෙන්න බැරි තරමට මානසිකව අපරිණතයි. හුරතල් කරන්න පුලුවන් දේවල් වලට ලොකු ආසාවක් දක්වන ලෙනී අමාරුවේ වැටෙන්නෙත් ඒ පුරුද්ද නිසාමයි.

ජෝජ් කියන්නේ ලෙනීව බලා කියා ගන්න, ඔහුගේ භාරකරුවා විදියට ඉන්න චරිතය. ඔහු තීක්ෂණ බුද්ධියකිනුත්, ප්‍රායෝගික බවිනුත්, කරුණාවෙනුත් සමන්විත පුද්ගලයෙක්. 

ජෝජ්ට ලෙනීත්, ලෙනීට ජෝජුත් හැර මේ දෙන්නට කාත් කවුරුවත් නැහැ. ඔවුන්ට හිටිය අන්තිම නෑදෑයා, ක්ලාරා නැන්දා මියැදෙන්නේ ලෙනීව ජෝජ්ට භාර දීලා. තැනින් තැන ගොවිපල වල වැඩ කරල සල්ලි ටිකක් එකතු කරගෙන තමන්ගෙම කියල පුංචි ගොවිපලක් මිලදී අරගෙන මියැදෙනකම් එතනට වැටිලා ඉන්න හීනයක් මේ දෙන්න එලවනවා. 

"ගොවිපල වල වැඩ කරන අපි වාගේ මිනිස්සු තමා මේ ලෝකේ ඉන්න අසරණම එවුන්. පවුලක් නෑ. ගමක් රටක් නෑ. එක තැනක වැඩ කරල කීයක් හරි හොයා ගන්නවා. ටවුමට ගිහිල්ලා ඒක නාස්ති කරනවා. ....  අනාගතයක් ගැන හිතන්න දෙයක් නැහැ..."
"..අපි දෙන්නා ඒ වගේමත් නෙමෙයි. අපිට අනාගතයක් තියෙනවා. අපිට අපි ගැන කතා කරන්න අපි දෙන්නා ඉන්නවා. තැබෑරුමකට වෙලා පස්ස රත් කර කර ඉන්න ඕනෙ නෑ. අනිත් එවුන් හිරේ වැටිලා කුණු වෙලා ගියත් සොයා බලන්න කාත් කවුරුවත් නෑ. ඒත් අපි එහෙම නෑ. "
ලෙනී ද කතාවට එකතු විය. "අපි එහෙම නෑ. මට උඹ ඉන්නවා. උඹට මාව ඉන්නවා. ඒකයි."

ඒ වගකීම උඩ ජෝජ් සහ ලෙනී අර පරිස්සමෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඔවුන් ගොවිපලට යන්නෙත් ඒ හීනය හැබෑ කරගන්න උවමනාවෙන්. හැබැයි එහෙම හිතන විදියටම වැඩ වෙනවද කියන එක පොත කියවල දුක්ඛාන්තය පහුකරනකම්ම හිතා ගන්න බැහැ. කොහොම වුනත් පොත කියවීමේ රසය කියවන්නා හට ලබා දීලා පොතේ ඉතුරු ටික රහසක් විදියට දැනට තියා ගන්නම්.

Of Mice & Men කතාවේ ප්‍රධාන චරිත දෙක එක්තරා විදියක සංකේතාත්මකව භාවිතා කරල තියෙනවා. ලෙනී, ලෝකය ගැන වැඩි අවබෝධයක් නොමැති චරිතය, ජෝජ්ගේ අධිෂ්ඨානාත්මක බලාපොරොත්තුවේ සමාරෝපණයක් (impersonation) විදියට හඳුනා ගන්න පුලුවන්. ඔහු නැතිනම් ජෝජ් "ගොවිපල වල වැඩ කරන අනිත් අනාගතයක් නැති සහසික පුද්ගලයෙක්" වෙන්න තිබුනා. 

"..අනේ දෙවියනේ මං තනියම හිටියනම් කිසිම කරදරයක් නෑ. ලේසියෙන්ම රස්සාවක් හොයා ගන්න තිබ්බා. මාසේ අන්තිමට ඩොලර් පණහක් ලැබුනම ටවුමට ගිහිල්ලා මට කැමති දෙයක් ගන්න පුලුවනි. ගණිකා මඩමට ගිහින් රෑ එලිවෙනකල්ම ඉන්න ඇහැකි. මම කැමති තැනක හෝටලේක හරි වෙන කොතනක හරි, කෑම ගන්න, මම කැමති ඕන දෙයක් ගන්න පුලුවනි. හැම මාසෙකටම පාරක් මේවා කරන්න පුලුවනි. විස්කි ගැලුමක් බී හැකි. පූල් සෙල්ලම් කල හැකි....."
".. මට මොනවද තියෙන්නේ" ජෝජ් තවමත් කතා කලේ කෝපයෙන්ය. "මට උඹව තියෙනවා!..."

තමන්ගේ බලාපොරොත්තුව එක වෙලාවකට බරක් විදියට දකින ජෝජ් තවත් වෙලාවකදි ඒක ආශිර්වාදයක් විදියට දකිනවා. ලෙනී එක්ක එක දිගටම ඉඳිමින් ඔහුව කරදර වලින් බේරා ගන්නෙ ඒ නිසයි. 

ඒත් අන්තිමේදී ඔහු බලාපොරොත්තුව අත හරිනවා. සංකේතාත්මකවත්, ඇත්ත ජීවිතෙනුත්. ඔහුට බලාපොරොත්තු අත හැරීමට සිදුවෙන සිද්ධි දාමය දිහා බැලු‍වොත් කිසිම ආකාරයකින් ඒක එහෙම නොවෙන විදියට පාලනය කරන්න ඔහුට හැකියාවක් නැති බව පෙනී යනවා. සමාජය කියන ආයතනය ඇතුලේ තනි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය ගැන තියෙන පාලනයේ ප්‍රමාණය ගැන ලේඛකයා මෙතනදි ඉඟියක් දෙන්න හදල තියෙනවා. අපි ඇතුලේ තියෙන හීන සැබෑ කර ගන්න කිසිම ඉඩක් නොදෙන තත්වයකට සමාජය පත්වෙන්න පුලුවන් බව ඔහු කියන්න හදනවා. 

Of Mice & Men ඇසුරින් චිත්‍රපට දෙකක් නිපදවිලා තිබෙනවා ඒ නමින්ම. එකක් 1939දි. අනෙක 1992දී. 1992 නිපදවුන චිත්‍රපටිය පමණයි මම බලල තියෙන්නේ. ජෝජ්ගේ චරිතය හොඳින් නිරූපණය වෙලා තිබුණත් ලෙනීගේ චරිතය පොත කියවනකොට මගෙ හිතේ මැවුණ රූපයට කොහෙත්ම සමාන වුනේ නැහැ. නමුත් පොතකින් චිත්‍රපටියක් සෑදීමේදී යම් යම් සීමා යටතේ තමන්ගේම නිර්මාණයක් සිදු කරන්න චිත්‍රපටි නිෂ්පාදකයන්ට පුලුවන් නිසා මේ වෙනස්කම් පිලිගන්න වෙනවා. 

ජෝජ් සහ ලෙනී චරිත දෙක ඇසුරින් හාස්‍යානුකරණ (parody) කාටූන් චරිත බිහි වෙලා තියෙනවා. පහත තියෙන කාටූන් චරිත මම පොඩි කාලෙදි දැකපු ඒවා. සමහර විට තාමත් රූපවාහිනියේ දකින්න පුලුවන්.
Oh please George, Can I? Can I? huh?

Of Mice & Men සිංහල පරිවර්තනය සිදු කරලා තියෙන්නේ ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින්. විදර්ශනා ප්‍රකාශකයින්ගේ පොතක් විදියට රුපියල් 150/=කට ලබා ගන්න පුලුවන්. 

1984 : උතෝපියා සිහිනයේ අධිපතිවාදී අන්තය


ඉංග්‍රීසි සාහිත්‍ය තුල සාමාන්‍යයෙන් කියවන්නට ලැබෙන මානුෂීය හැඟීම් නැවත නැවතත් සනාථ කරනා ආකාරයේ ප්‍රබන්ධයන්ට වඩා වෙනස් වූත් ඒවාට වඩා අශුභවාදී වූත් කතාවක රස විඳීමට ලැබීම එක අතකින් නැවුම් අත්දැකීමක් වූ අතරම අනෙක් අතින් එක්තරා ආකාරයක බියක් සිත තුල ජනිත කිරීමට සමත්ව ඇත.  

පොත "එක්දහස් නවසිය අසූ හතර"යි. රචකයා ජෝජ් ඕවල් ය. සිංහලට පරිවර්තනය වන්නේ ආරියවංශ රණවීර අතිනි. 

1984 මගින් ජෝජ් ඕවල් අප ඉදිරියේ රඟ දක්වා පෙන්වන්නේ අනාගත අධිපතිවාදී රාජ්‍යයක ස්වාභාවය හා මිනිස්කම එම අධිපතිවාදය ඉදිරියේ කොතෙක් දුරට පවතීද යන ගැටළුවයි. ඕවල්ගේ සමකාලීනයන් හා ඔහු ආභාෂය ලද්දන් මෙන් මේ සඳහා ඔහු යොදාගන්නේ මනඃකල්පිත ලෝකයකි. 1984 ජෝජ් ඕවල්ගේ අවසාන නිර්මාණය වන අතර ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකේ. කෘතියට නම එලෙස යොදා ගැනෙන්නේ රචනා කල වසර වන 1948 අංක මාරු කිරීමෙන් බව පැවසෙන නමුත් 1984 යන නමෙහි වෙනත් අරුතක් ගැබ් වී තිබේ දැයි ප්‍රකාශ වී නැත.

අනාගත රාජ්‍යයේ නම ඕෂනියාවයි. මෙහි පාලන බලය සමාජවාදී විප්ලවයකින් පසුව "පක්ෂය"නමින් හැඳින්වෙන කොටස මගින් අල්ලා ගනු ලැබෙන අතර ඉන්පසු සිදුවෙන සිද්ධීන් මාලාවකින් පසුව "පක්ෂය" ඕෂනියාවේ සුපිරි පාලකයා බවට පත් වේ. 1984 ප්‍රබන්ධයේ කාලරාමුව පටන් ගන්නේ ඉහත කී විප්ලවය හා පෙරළියට දශක කිහිපයකට පසුවය. 

මෙම අධිපතිවාදී සමාජය තුල නැවත විප්ලවයක් හෝ එවැනි නැගිටීමක් වලක්වාගන්නේ ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කිරීමෙනි. මුලුමහත් සමාජය පුරාම ඉතා දැඩි ලෙස පවත්වාගෙන යන භීෂණය මගින් පක්ෂය (ඕෂනියාවේ මෙම පක්ෂය ඉන්ග්සොක් වන අතර පෘතුවියේ අනෙක් සුපිරි රාජ්‍ය දෙක වන යුරේෂියාවේ බොල්ෂෙවිකයත්, ඊස්ට් ඒෂියාවේ මෘත වන්දනාව නැමැති පක්ෂයත් පවතී. නම් වෙනස් වූවත් මේවායින් සිදුවන කාර්යයන් බොහෝ දුරට සමාන වේ.) නැමැති කුඩා කොටස සෙසු සමාජය යටපත් කරගෙන සිටියි. පක්ෂය පවසන දේ පරම සත්‍යය වන අතර දෙකයි දෙකයි පහයි කී විට, එසේ නොව හතරයි කීමට තරම් එඩිතර අයෙකු තව දුරටත් සොයා ගැනීමට නොහැක. 

අධිපතිවාදයේ පැවැත්ම තහවුරු කරන අනෙක් කාර්යය වන්නේ ඉතිහාසය නැවත නැවත වෙනස් කර පක්ෂයේ අභිමතාර්තය පරිදි ලිවීමයි. ඉතිහාසයක් නොතිබුනහොත් මීට වඩා යහපත් සමාජයක් මින් පෙර පැවතුන බවට මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ නොවේ. එවිට සමාජ පෙරළියක් සිදුවන්නේ ද නැත.

සැලසුම් සහගත සම්පත් හිඟය මගින් ධනවාදයේ ප්‍රධාන අංගයක් වන අතිරික්තය වලක්වා සමාජය ඉතාමත් අඩු සම්පත් ප්‍රමාණයක් යටතේ "රිම් එකෙන් දුවන ගාණට" සකස් කර ඇත. මෙම සම්පත් හිඟය පවත්වාගෙන යන්නේ සුපිරි රාජ්‍ය තුන අතර පවතින නොනවතින යුද්ධය මගිනි. මෙම යුද්ධය විසිවෙනි සියවස මුල් කාලයේ පැවතුන යුද්ධ මෙන් අවසානයක් ඇති, නිශ්චිත ප්‍රතිපල අත්කරදෙන යුද්ධ මෙන් නොව හුදෙක් අධිපතිවාදී සමාජය තුල තුලනය පවත්වාගෙන යාමට ඇති ක්‍රියාවලියකි.

1984 සමාජය තුල රජයන ප්‍රධානම අංගයක් වන්නේ ද්විත්ව චින්තනය (Doublethink) නැමැති යථාර්ත පාලන ක්‍රමවේදයයි. පක්ෂය මගින් එහි පැවැත්ම සඳහා නොකඩවා සිදු කෙරෙන ප්‍රොපගැන්ඩාවන් (ඉතිහාසය වෙනස් කිරීම වැනි) මිනිස් සිතේ අවිඥාණිකව ද සාධාරණීකරණය කිරීම සඳහා යොදාගන්නා චිත්ත ස්වාභාවය ද්විත්ව චින්තනය ලෙස හැඳින්වේ. එකවර එකිනෙකට පරස්පර විරෝධී, හා එකිනෙක කැපී යන අදහස් දෙකක් නිවැරදි යයි සිතමින් කටයුතු කිරීම ද්විත්ව චින්තනය ලෙසින් හැඳින්විය හැක. 

"ද්විත්ව චින්තනය යනු යමෙකුගේ මනසෙහි එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් දරාගෙන ඉන්නා අතර ඒ දෙකම එකවිට සැබෑ යයි එක විටම ඇදහීමය. පක්ෂයේ සාමාජික බුද්ධිමත්හු තම ස්මරණයන් සකස් කර ගත යුත්තේ කවර මාර්ගයක් ඔස්සේ දැයි හොඳින් දනිති. එනිසාම තමා යථාර්ථය සමඟ බොරු මායම් කරන බව ඔවුහු දනිති. ද්විත්ව චින්තනය ඔවුන්ගේ උපකාරයට එන්නේ මෙහිදීය. එහි ආනුභාවයෙන් තමන් යථාර්තයට පිටුපා කටයුතු කරන්නේ නැතැයි තමාට ඒත්තු ගැන්වීමට ඔවුහු සමත් වෙති. මෙම චිත්ත ව්‍යායාමය විශේෂ ආයාසයක් නැතිව ඉබේම සිදු වෙයි."
පිටු අංක 257 - 1984

1948දී ජෝජ් ඕවල් දුටු මෙම ද්විත්ව චින්තනය අද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම එක අතකින් කියන දේ නාහන මිනිස් වර්ගයාට සාමාන්‍යය.

පොදුවේ 1984 සමාජය තුල දකින්නට ලැබෙන්නේ තනි පුද්ගලයා තුලින් පෞද්ගලිකත්වය, යථාර්තය හා මිනිස්කම, ද්විත්ව චින්තනය හා භීෂණය යොදාගනිමින් මිරිකා හරින ලද තත්වයකි. බාහිර හා අභ්‍යන්තරික පක්ෂ සාමාජිකයින් නිරතුරුවම නිරීක්ෂණයට ලක් කෙරෙන අතර පක්ෂයට විරුද්ධව යන්නෙක් බව හැඟවුණ සැණින් මොල සේදීමකට ලක් කර දමයි. නැතිනම් අතුරුදහන් කර දමයි. එකිනෙකාට තම තමාගේ යථාර්තයක් නැත. ඇත්තේ පක්ෂය විසින් මවා දෙන යථාර්තය පමණි. දෙකයි දෙකයි පහයි බව පක්ෂයෙන් පැවසුනහොත් එය පරම සත්‍යය වේ. මෙම මැවූ යථාර්තය පිලිගන්නේ හුදෙක් පක්ෂයට ඇති බියෙන් පමණක් නොව හද පත්ලෙන්ම ව්‍යාජ යථාර්තය සත්‍ය බව පිලිගනිමිනි (ද්විත්ව චින්තනයේ පිහිටෙන්).

පක්ෂය විසින් සියළු මිනිස් සබඳතා ශුන්‍ය කර දමා ඇත. පක්ෂ සාමාජිකයින්ට ප්‍රේම කිරීම තහනම් වන අතර විවාහ විය යුත්තේ පක්ෂය විසින් අනුමත කරන සහකාරිය/සහකාරයා වේ (පසුගිය සමයක මෙවැනි ක්‍රමයවේදයක් අනුගමනය කල පක්ෂයක් සිටි බව මතකයට නැගෙනු ඇත). අනිවාර්යයෙන්ම මෙම විවාහය තුල ප්‍රේමාණීය හෝ රාගික සිතුවිලි තහනම් වන අතර ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම අනෙක් පක්ෂ සාමාජිකයින්ගේ සේම නිරීක්ෂණයට ලක් වේ. ලිංගික ආකර්ශණය පමණක් නොව මාපිය දූදරු සබඳතා පවා පක්ෂය විසින් විනාශ කර දමයි. කුඩා ලමුන් චරපුරුෂ පෝතක සංවිධානයේ සාමාජිකයින් වන අතර දෙමව්පියන්ගේ "චිත්තාපරාධ" හඳුනාගෙන ඒවා චිත්තාපරාධ පොලීසියට දැනුම් දීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වේ. මෙම ක්‍රියාවන් පක්ෂය බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු දෙකකි. එකක් නම් දෙමව්පියන් නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීමයි. අනෙක මානුෂීය සබඳතා විනාශ කර දැමීමයි. 

ජෝජ් ඕවල්ගේ 1984 ප්‍රබන්ධය විසි වෙනි සියවසේ හොඳම කෘතීන් අතරට එකතු වීම එහි විශිෂ්ඨත්වය පෙන්නුම් කරයි. ඔහු එමගින් අපට ලබා දෙන්නට යන්නේ කුමක් ද?

මෙම කෘතිය රචනා කෙරෙන කාලය තුල සමාජවාදය පිළිබඳ තැබූ උසස් අදහස් ක්‍රම ක්‍රමයෙන් දිය වෙමින් පැවති අවධිය යැයි කිව හැක. ප්‍රායෝගිකව සමාජවාදී රාජ්‍යයක් ගොඩනගමින් තිබූ සෝවියට් සමූහාණ්ඩුව ස්ටාලින් විසින් අන්ත ඒකාධිපති පාලනයකට ගෙන යෑම මෙයට ප්‍රධාන හේතුවයි. ට්‍රොට්ස්කි, කමනෙව් ආදී 1917 රුසියානු විප්ලවයේ ප්‍රධානීන් ඝාතනය කරමින් මුලු මහත් සමාජයම තමාට නතු කර ගැනීමට ස්ටාලින් ගත් මග එතෙක් සමාජවාදයට හිතැති ප්‍රජාවේ කණස්සල්ලට හේතු වන අතර 1984 එලෙස ඇති වූ කණස්සල්ලේ ප්‍රතිපලයක් ලෙස කිව හැක. 

අනෙක් අතට 1984 විසින් මිනිසාගේ චිත්ත ස්වාභාවය සියුම්ව ගවේශණයට ලක් කරන සැටි අපට දැකිය හැක. අධිපතිවාදී පාලනයක් විසින් සියළු මානුෂීය ස්වාභාවයන් නෂ්ඨ කර දමන යුගයක ඒ සියළු දේ පරද්දා නැවත මිනිස්කම ස්ථාපනය කිරීමට හැකි දැයි 1984 ප්‍රශ්න කරයි. ඔහු ඒ සඳහා ලබා දෙන පිළිතුර අශුභවාදී එකකි. අනෙකුන් හිංසාවට ලක් කර තමා සතු බලය යොදා ගැනීමේ මිනිස් පරපීඩක කාමුකත්වය ඔහු උතෝපියා සිහිනයේ ප්‍රධාන බාධාව ලෙස පෙන්වා දෙයි.

"යම්කිසි කෙනෙක් තවත් කෙනෙක් වෙත සිය බලය පතුරුවන්නේ කොහොමද වින්ස්ටන්?"
වින්ස්ටන් කල්පනා කලේය.
"ඔහුට දුක් දීලා. ඔහු දුකට පත් කරලා." 
ඔහු උත්තර දුන්නේය.
"හරියට හරි. ඔහුට දුක්විඳින්න සලස්සලා තමයි. නිකම් අවනත වීම පමණක් මදි. ඔහු පීඩාවට පත් නොකලොත් ඔබ කොහොමද දන්නේ ඒ තැනැත්තා ඔබගේ අණසකට අනුකූලව කටයුතු කරනවාද නැතිනම් ඔහු තමාගේම හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවාස කියල. බලය කියන එකේ නියම අර්ථය අනුව වේදනාව දීමත්, ඔවුන් ගර්හිතයින් බවට පත් කිරීමත් තමයි කරන්නේ. බලය කියන එකේ තේරුම මිනිස් මනස අරගෙන කීතු කීතු වලට ඉරා දමා එතනට බලය හිමි තැනැත්තා විසින් තීරණය කරන ස්වරූපයක් ඇතුලු කිරීම....."
පිටු අංක 325 - 1984

1984 සමාජය යථාර්තයක් බවට පත් වීම කලාතුරකින් සිදු වේ යැයි අපට සිතීමට නොහැක. නියම ලෙස කරුණු කාරණා සැලසුනහොත් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වුව 1984 අන්දමේ පාලන ක්‍රමයකට පත් විය හැක. විශේෂයෙන්ම යුද්ධය නවීන ලෝකයේ භාවිතා වන අන්දම දෙස බලන විට 1984 දක්වා ඇති යුද්ධයේ ස්වාභාවයට සමාන බව දැකිය හැක. සෑම විටම පාලකයින් හට සම්පූර්ණ බලය හිමි වන්නේ සමාජයක් එලෙස යුද බියෙන් තැති ගැන්වූවොත් පමණි. තව දුරටත් උදාහරණ ගතහොත්, වෙළඳපොල සමාජය තුල සම්පත් හිඟකම (scarcity) යොදා ගනිමින් මිනිසා පාලනය කරන අන්දම 1984 තුල යුද්ධය භාවිතා කරමින් පාලනය කිරීමට බෙහෙවින් සමානය. මේ අතින් බලන විට 1984 යනු ස්ටාලින් හෝ හිට්ලර් වැනි කලාතුරකින් ඇතිවිය හැකි අවස්ථා නොව ඕනෑම මොහොතක අප සමාජය තල්ලු විය හැකි ආගාධයක් බව පෙනී යයි. 1984 කෘතිය වෙනුවෙන් කෙරෙන සම්මුඛ සාකච්ඡාවකදී ජෝජ් ඕවල් පහත ප්‍රකාශය කරයි. 

මා කරන්නේ අනතුරු ඇඟවීමක් පමණයි. මෙය සිදුවන්නට ඉඩ තියන්න එපා.

ආරියවංශ රණවීර විසින් පරිවර්තිත "එක්දහස් නවසිය අසූ හතර" රත්න පොත් ප්‍රකාශකයින් යටතේ ලබා ගත හැක. කෘතියට අමතරව ජෝජ් ඕවල් හා කෘතිය ලියැවුණු කාලය පිළිබඳ මනා සටහනක් ආරියවංශ රණවීර විසින් ඇතුලත් කර ඇති අතර කෘතිය අවසානයේ එරික් ෆ්‍රොම් විසින් කරන ලද ග්‍රන්ථ විචාරයක් ද අඩංගු වේ.