Showing posts with label නිදහස. Show all posts
Showing posts with label නිදහස. Show all posts

ජාතකය සොයා යාම:බත්තලංගුණ්ඩුව


ඇන්ටනී නම් වූ ජීවියා සමාජය තුල විවාහය නම් වූ බෞතිස්මය ලබන්නට සිය ජන්මයට අදාල ශුක්‍රාණුවේ භාරකාරත්වය සොයා යන වීර චාරිකාවක් ලෙස බත්තලංගුණ්ඩු‍ව වර්ග කිරීම අසාධාරණ විය හැක.. නමුත් එය එසේ වර්ග කිරීමෙන්ම මම සටහන ආරම්භ කරමි.

නගරයේ සන්නාසියෙකු වන මා ඈත නන්නාදුනන කොදෙව්වක් සොයා යන්නේ කුඩා ලමයෙකු නොව වැඩ්හිටියෙකු අල්ලා ‍ගෙන ඒමටය.ඔහු කවුරුන් හෝ වැඩිහිටියෙකු නොව මගේ අනන්‍යතා සහතිකය ඇති මගේම තාත්තාය

ඇන්ටනී සමාජීය ජීවියෙකි.කලාකරුවෙකු වුවද ඇන්ටනී හට සමාජයෙන් ගැලවි‍ය නොහැකි වන්නේ එනිසාය. ත්‍රිසා වෙනුවෙන් යැයි සිතා සිටියත් සමාජය වෙනුවෙන් ඇන්තනී බත්තලංගුණ්ඩුවට යාත්‍රා කරයි..

ඉකුත් මූසල සන්ධ්‍යාවක මුස්පේන්තු භාවය අහෝසි කරනු පිණිස මම විවාහයේ කල්වාරි දුර්ගය තරණය කිරීමට එන ලෙස ඇයට යෝජනා කලෙමි.පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මාගෙලෙහි එල්ලී දෙතොලමත ලිප්ස්ටික් තවරනු ඇතැයි මට සිතුනද අන්ධකාර ගෙහන්නාවේ මුඩු ආලෝකය ඈ මුහුණේ පැතිරින.මම වික්ෂිප්ත වීමි...
'ඇයි අකමැතිද?'
ඇය සීරියස් වෙමින් සිටියාය..
'මම කැමතියි දැන් වුනත්...'
'එහෙනම්'
ඇයට කෙළ ගිලින.ඒ සමග පිලිතුරද ආමාශගතවන්නට ඇත.'

බත්තලංගුණ්ඩුව හතර අතින් මුහුද මායිම් කර ගෙන තිබුනත් මුහුද පවා තුට්‍ටුවක මායිමකට නොගත් කොදෙව්වකි. වෙනත් සීමා බත්තලංගුණ්ඩුවට අදාල නොවන්නේ ඒ නිසාය..

'දෙන්නම සිංහල නම් ඇයි දෙමලෙන් කතා කරන්නේ'
පිලිතුර ලැබෙන්නේ අනිකාගෙනි. මෙයා සිංහල වුනාට සිංහල කතා කරන්න බෑ..! මෙයා පොඩිකාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ දූපතේ. ඒ හින්දා සිංහල දන්නෑ.ඇත්තම කියනවානම් මටත් සිංහලට වඩා දෙමල ලේසියි.'

ජීවිතයක දිග පලල මිස ජාතියක භාෂාවක බරක් පතලක් නොමැති වීම ඔවුන් ලත් භාග්‍යයකි. දැලෙහි පැටලෙන මාළුන් මිස ජාතිය ඔවුනට යැපීමේ මාර්ගයක් නොවේ.

බත්තලංගුණ්ඩුව තුල මිනිසුන් පාලනය වනුයේ සිය වුවමනාවන් මතිනි. ග්‍රේටා ඇඩ්ඩිංගේ භාර්යාව වුවද ආනාමරියාට ඊර්ෂ්‍යා කරන්නේ එනිසාය. ඇඩ්ඩිං පවා හුදෙක් මාළුකාරයෙක් වුවද ඉන් එහාට ඇදුන ජීවිත ඥාණයක් ඇත්තෙකු වීමට බත්තලංගුණ්ඩුව හේතු වන්නේ මෙසේ යැයි කීමට පිටුගාණක් පුරා සාක්ෂි නිර්මාණය වී ඇත.

'උඹේ ඇස් ඉස්සෙල්ලම දැක්කෙ මම, ඒත් මම උඹේ ඇස්වලින් මගේ හීන දකින්න ගියේ නෑ'
'ලෝකෙට එබිලා බලන්න මම උඹට නිදහස දුන්නා.මං උඹට ඉලක්කයක් දුන්නෙ නෑ.උඹේ ඉලක්කය උඹම හොයාගත්ත එකක්. වෙන මොනාද තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන්..'

බත්තලංගුණ්ඩුව තුල පවතින ජී‍විත සරලය. ඔවුන් සියළුදෙනා නොපෙනෙන හෙටකට වඩා පවතින ‍අද තුල ජිවත්වෙති.ඒ තුලින් ඔවුන් අප‍ට නොපෙනෙන ගැඹුරක් අප සමග හුවමාරු කර ගනී.

'කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නෙනෑ. සමහරවිට ඒ මගේ අම්මවත් ආත්තම්වත් නොවෙන්න පුළුවන්.සමහරවිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරව්ට ඒ දෙන්නම වෙන්නත් පුළුවන්.'

බත්තලංගුණ්ඩුව මට එළ පොතක් වනුයේ ඒ නිසාය..

'මිනිස්සු සල්ලි දීලා ඉට්පන්දම් පත්තු කරන්නෙ මොකටද ? ඉටිපන්දමේ වියදම වගේ ලක්ෂ ගාණක් බලාපොරොත්තුවෙන්... ඒත් ඒක ඒ මිනිස්සු දන්නෙ නෑ '

බත්තලංගුණ්ඩුව :: මංජුල වෙඩිවර්ධන

Free_by_drsmith

"බත්තලංගුණ්ඩුව" පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්‍යත්වයේ ප්‍රකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි.

ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ ආකාරයේ පරිපූර්ණත්වයකින්ය. නාගරිකත්වයේ සිට ඈත කොදෙව්වකට පියා සොයමින් යන ඔහු අන්තිමේදී සොයා ගන්නේ ඔහු සෙවූ පියා ඔහු තුලම සිටි බවයි.

"කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුනා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව"

ගන්ධබ්බ ආත්මයකට පරිපූර්ණ වූත් අවංක වූත් මිත්‍රත්වය මුණ ගැසෙන්නේ තිතක් වත් නොවන බත්තලංගුණ්ඩුවේදීය. සින්බෑඩ්, ක්‍රිස්ටො පුද ලබන මිත්‍රත්වය හා සමානම මිත්‍රත්වයක් ඇන්ටනී එවෙලේ අඳුන ගන්නා පොලිස් කොස්තාපල් වාස් වෙතින් අත් විඳී.

නාගරික පරිසරයක දහසක් මිනිසුන් මැද බිත්ති සතරක සිරකරුවන් වී ප්‍රේමය රඟ දැක්වූවන් නිදහස අත්විඳින්නේ බත්තලංගුණ්ඩුවේදී ය. ගැහැණියෙකුත් මිනිසෙකුත් අතරට කඩා වැදි සමාජය විසින් පනවනු ලැබූ දම් වැල් බිඳී වැටෙන්නේ එහිදීය. ආනමරියා එම යදම් බිඳ දමන්නේ ඇන්ටනීටත් නොදැනෙන සෞම්‍යත්වයෙනි.

"නාගරික ප්‍රේම දුක්ප්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක ප්‍රේමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද? මා මෙතරම් ම නිදහස් ව ප්‍රශ්වාස සුසුම් හා මුසුකොට පාකොට හරින්නේ මෙතෙක් මා අත් විඳි හෘදයේ අධි පීඩනය නොවේ ද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළඟින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරෙක්ද?"

තමාගේ පුත් හා තම තරුණ බිරිඳ එක් වෙන බව දැන ගන්නා ඇඩ්ඩින් මුදලාලි අසම්මත පෙම්වතුන් ලෙස ඔවුන් හඩු නොගසා ඒ බව ඉවසා සිටින්නේ එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වාභාවය බව දැනගෙන ද? තරුණ ගැහැණියෙකුත් තරුණ පිරිමියෙකුත් අතර ලිංගිකව ඇති වෙන සබඳතාවයක ඇති අසාමාන්‍ය බව කුමක් ද? සිත් තුල ඇති වෙන අසාමාන්‍ය බව හුදෙක් සමාජ නිර්මිතයින් පමණක් නොවෙ ද?

එක් එක් පුද්ගලයා මත සමාජය විසින් පවරනු ලබන සියලු චරිතයන් දියව ගොස් ඒවා නැවත මුල සිට අර්ථ දැක්වෙන ආකාරය ඇන්ටනී අත් දකින්නේ මුල් වතාවට ය. මානුෂික සබඳතා රඳා පවතින්නේ මනුෂ්‍යයින් මත බවත් සමාජ නිර්මිත නාමයන් මත නොවන බවත් ඔහු අත් විඳී.

"ඇන්ටනී, කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නේ නෑ. සමහර විට ඒ මගේ අම්මවත්, ආත්තම්මවත් නොවෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නම වෙන්නත් පුලුවන්."

බත්තලංගුණ්ඩුව තුල රාජ්‍යයක් නොමැත. රාජ්‍ය නීතිය ඒ තුල බල නොපායි. පොලීසිය, හමුදාව හා විමුක්ති කොටි වෙසෙන විල්පත්තුව මධ්‍යයේ ඒ සියල්ලටම වියුක්තව බත්තලංගුණ්ඩුව ස්ථානගතව ඇත. භෞමික අඛන්ඩතාවය, ජාතිවාදය, විමුක්තිය ආදී සංකල්ප මෙම කොදෙව්වට වලංගු නැත. එහි ඇත්තේ මනුෂයත්වය පමණි. එහි ගහ මරාගන්නේ විමුක්තිය උදෙසා නොව ස්වභාවිකව අවශ්‍ය මූලික සංකල්ප සපුරා ගනු පිණිසය. නේවි එකෙන් කකුල් කැඩූ ඩිඩාකස් හට කොටි පිළිබඳ කරුණාවක් නොමැත. කොටින් විසින් බෝට්ටුව උදුරා ගනු ලැබූ ඇල්බා හට රජයට පක්ෂපාතීත්වයක් නැත. සංකීර්ණ සංකල්ප වෙතින් සම්පූර්ණයෙන්ම නිදහස් බවක් එහි නිතරම පවතී.

මෙකී නොකී සියලු නිදහසින් පිරි බත්තලංගුණ්ඩුව නාගරිකයාට ඊඩ්න් උද්‍යානයයි. වරෙක පිටුවහල් කරනු ලැබූ ඇන්ටනී නැවත එහි පැමිණ අත් විඳින විමුක්තියත්, විපර්යාසයේ තෘප්තියත් පිළිබඳ වීර කතාව මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව"යි.

"හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතය මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස.... හැම තැනම අහස.....

අහස."