Showing posts with label පවුලෝ කොයියෝ. Show all posts
Showing posts with label පවුලෝ කොයියෝ. Show all posts

ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!

  මැරෙන්නට තීරණය කිරීම

ඈ මෙන්ම අපත් හුස්ම වැටෙන මිනිස් ජීවීන් වීමු. මිනිස් ජීවීන් කියා නොනැවති, දුවනවාට වඩා නැවතී සිටීමෙන් හර්ද ස්පන්දනය බාල වෙනු අත් විඳින සත්ව ප්‍රාණීන් වීමු. වැටෙන හුස්මක් ඉහල ගෙන පහළ හෙලීමට පවා දිරියක් නැතිව , ආයාසයෙන් හුස්ම අල්ලා, ජීවත් වීමට හේතු කාරණාවක් සොයන්නට උපන් මොහොතේ පළමු හැඬීමේ සිට වෙහෙස වීමු.. වෙහෙස නිවා ගන්නට අප පා ඉක්මන් කොට බර අඩි තබා ජීවිත ගමන ඉක්මන් කරන්නෙමු. ගමන් වේගය බාල වෙද්දී 'නැවැත්ම' අප බිය ගන්වනු ඇත. 'පැවැත්ම' නවතිනු ඇත. පැවැත්මට නිමිත්තක් සොයා ගනු නොහැකිව, දිවිල්ලේ වේගය බාල වන විට හර්ද තන්තු කවදාවත් නොපැතූ සංඥාවක් නිකුත් කලහොත්.....
'දැන් ජීවත් වුනා ඇති!!!!!!' ???????


ජීවිතයේ එක වතාවක් හෝ ඔබට මැරෙන්නට සිතී තිබෙනවාද
? කල්පිත හෝ යථාර්ථයන් වූ මාතෘකා වල මිනිසෙකු සිය දිවි නසාගන්නේ එක්කෝ පෙම් පලහිලවුවකින් සිත් බිඳී යාමෙන්, විභාගයක් අසමත් වීමෙන් , ණය බරින් මිරිකීමෙන් ,    විශාදය අවපීඩනය හෝ එවැනි මානසික අවපාතයකට ගොදුරු වීමෙන්... ඒත් ජීවිතයේ එක් වරක් හෝ ඔබ හිස්කමෙන් ආකූල වීමෙන් ජීවිතය හැර යන්නට තීරණය කර තිබෙනවාද?

 ජීවිතේ මල්ට එහෙම හිතිලා තියෙනවා... ඈට වගේම වෙරෝනිකාටත් දවසක් එහෙම හිතුනා. ඔබ අහාවි... ඒත්.... ඇයි ඒ...? මොනවයින් අඩුවක්ද?

ආදරේ ....?        නෑ
සල්ලි ....?        නෑ
සමාජ තත්වය?      නෑ
රස්සාවක්... ?      නෑ

එහෙනම්?

මේ මොන ප්‍රශ්නයක්වත් නැති වීමත්, ජීවත් වෙන්නට හේතුවක් නොපෙනී යාමත් නිසා ඔබ එක් වතාවක් හෝ 'මැරෙන්නට තියනවානම් හොඳ' බව තීරණය කර තිබෙනවාද ? වෙරෝනිකා මේ විදියට ජීවිතයෙන් වෙහෙස වුනා.... මුකුත්ම නොදැනෙන,හැඟීම් දැනීම් විරහිත ලෝකයක දවස ගෙවන එක ඈට ප්‍රශ්නයක් වුනා.. සියල්ල ඉතා හොඳින් සිද්ද වෙද්දීත්...! වෙරෝනිකා උදේ හවා කාමරයේ වහලේ සිදුරු ගණිමින් ඔහේ උඩුබැලි අතට වැතිරී උන්නේ නෑ. ඈ ‍රැකියාවට ගියා... ඈ ඉගෙන ගත්තා... දෙමාපියන් හමු වුනා.. ඒත් ඇගේ හිතේ හිඩැස පිරුනේ නැහැ. ඈ වටා බැඳුනු හිස්කමේ පටලය විසින් ඇයව ක්‍රමයෙන් උදාසීන කරන්නට වුනා. ජීවත් වීමෙන් වෙහෙස වෙමින් , බෙලහීන මිනිස් ජීවියෙක් බවට පත් වුනා.  වෙනසක් සොයා යනු වෙනුවට වෙනසක් අනවශ්‍ය වුනා. වෙනස් වන්නට ඇයට උවමනාව නැති වුනා. ඇයට හිමි වෙන්නට හෝ අහිමි වෙන්නට දෙයක් නොමැතිකමෙන් ඈ පීඩාවට පත් වුනා... 

ඉතින්.. වෙරෝනිකා තීරණය කලා මැරෙන්න.. කවුරු නවත්වන්නද ඈව
? නිදි පෙති විශාල ප්‍රමාණයක් හෙමි හෙමින් එකින් එක පානය කරමින් ඈ මරණය අභියස මරණය බලාපොරොත්තු වන්නියක් වුනා.එක් වරම ඈ සලිත වුනා.... බලාපොරොත්තුවක්!! මරණය !! විටෙක මරණය හෝ වේවා , ජීවත් වීම උදෙසා , වෙනසක් උදෙසා නිමිත්තක් සපයන බව හඟින්නට ඈට පලමු අවස්ථාව උදා වුනා. ඒත් බලාපොරොත්තුවේ එලි දැල්වෙද්දීම වෙරෝනිකාගේ ජීවිත පහන් සිල නිවී යන්නට පටන් ගත්තා..


ඈ සිහි ලැබුවේ
'විලෙත්' හිදී.... ඒත් ඒ සිහි ලැබීම, ජීවත් වීමේ ආශාවන් දල්වද්දී දොස්තරවරයා සහ දෛවය එය යලිත් නිවා දමනවා. ඈට හිමිවන්නේ සතියක කාලයක් ! අඩකටත් වඩා මිය ගොස් සිටි  හෘදය වස්තුව සමග 'මරණයේ බලාපොරොත්තුව' ජීවත් වෙන්නට පටන් ගන්නවා... ඒත් ඈට හැමදේටම ඉතිරි වන්නේ සතියයි ! කොටින්ම ජීවත් වෙන්නටත් !
වෙරෝනිකාට ජීවත් වන්නට බලාපොරොත්තුවක්! ඒත් ඈ ප්‍රමාදයි... ජීවිතයේ උත්කර්ෂය හැ‍ඟෙන මානයේදී , ජීවිතාශාව පණ ගසද්දී, මිය නොයා යුතු බව හැ‍ඟෙද්දී.... ඈ ප්‍රමාද වැඩියි !!!

ඈ ජීවත් කරවූයේ 'මරණයයි' ! මා එසේ කීවොත් ඔබ ඇතැම් විට මට එරෙහි වේවි... ඈ කුමක් කරාවිද? ඈ කෙසේ ඒ සතිය ගත කරාවිද? 'වෙනස' වටහා ගනීවිද?

මේ කෙටි සටහනට පාදක වූ , පවුලෝ කොයියෝගේ   'වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි'  පොතෙහි එන අවසන් පේලි කිහිපයකින් මා මේ සටහන් අවසන් කරන්නම්....

'ඔබට ජීවත් වන්නට හේතුවක් උවමනා වූ විට... හොඳ හෝ නරක.... දුක හෝ සැප කුමක් හෝ හේතුවක් .... විටෙක මරණය පවා ජීවිතාශාව සපයන හේතුවක් වනු ඇත..'
කර්තෘ: පවුලෝ කොයියෝ
පොත : Veronika Decides to Die
අනුවාදය: වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි
අනුවාදය කලේ : ගාමිණී වියන්ගොඩ
ග්‍රන්ථ සහ රූප මූලාශ්‍ර :
http://iwillsue.com/wp-includes/images/wlw/cache/Veronika-Decides-To-Die-Movie-Poster.jpg
http://ecx.images-amazon.com/images/I/51ASFSW6VZL._BO2,204,203,200_PIsitb-sticker-arrow-click,TopRight,35,-76_AA300_SH20_OU01_.jpg

http://www.entertainmentwallpaper.com/images/desktops/movie/veronika_decides_to_die01.jpg

මිනිත්තු එකොළහේ කතාව- Eleven Minutes by Paulo Coelho


ජීවිතය යම්තම් හඳුනාගත් දා සිට, තරුණ විය බොහෝ කටුක දෑ උරුම කර දෙන තෙක්, ආදරය කුමක්දැයි  ,සැබෑ තෘප්තිය කුමක්දැයි, වෙහෙස වී සෙවූ මරියාට කාලාන්තරයක් පුරාවට ලැබුනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම්. ඈ සැබෑ ආලය සොයා මේ යන ගමන'තරතුර එක් නැවතුම් පොලක නතර වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ඒත් එහිදී ඈට සිදුවෙන්නේ සිය සිරුර 'කොපකබානා' හි අලෙවි කිරීමට  සහ ඉන් බ්‍රසීලයේ වෙසෙන දෙමාපියන්ට ගොවිපලක් තනා දීම වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට.

මරීයා සිය කුඩා කාලයේ පටන් විවිධාකාර ආකර්ශනයන් වෙත බැඳී ගිය හැටිත් , ඒ හැම අවස්ථාවකම සැබෑ සෙනෙහස ,ආදරය සහ විඳීම සෙවීමේ මෙහෙයුමෙන් පරාජය වූ හැටිත් පවුලෝ කොයියෝ විස්තර කරන්නේ අතිශය සංවේදී සහ සිතුවිලි බද්ධවූ ශෛලියක් උපයෝගී කරගනිමින්. පවුලෝ කොයියෝ මරියාගේ තැන ගනිමින් සිතිවිලි තුල තෙරපෙන දුක , අසහනය , වේදනාව සහ බලාපොරොත්තු කඩ වීම විස්තර කරන්නේ මනෝ විශේෂඥයකුටත් වඩා දක්ෂ ලෙසින්. පොත පුරාවටම හැම අකුරක් පුරාම දිවෙන සිතුවිලි වල අරුම දකින්නට යෙදෙනවා නම් අප අපවම දකින්නා මෙන් ඔබට දැනේවි.

ආදරයෙන් සහ ජීවිතයේ තෘප්තියෙන් බලාපොරොත්තු කඩවන මරියා 'රි යෝ ද ජෑනෙයිරෝ' නගරය බලා යන්නේ තමා කෙරෙහි අනාගත බලාපොරොත්තු තබාගත් පෙම්වතෙකු සහ තමා කෙරෙහි අනාගත සෑලසුම් උදෙසා මුදල් හම්බ කිරීමට සිත දහිරිය කොට ගත් ගැහැණියක ‍රැගෙනයි. සම්බා නැටුම් ශිල්පිණියක ලෙස ඉතා කෙටි කලක් ගත කරන මරියා, තමා මෙහි ආ අරමුණ ඉන් ඉටු නොවන බව වටහා ගෙන ඉන් මිදී යන්නේ , තමා සමග යහන් ගත වීමට ෆ්‍රෑන්ක් 1000ක් ගෙවන්නට එකඟ වන මිනිසෙකු සමගයි. එතෑනින් ඇරඹෙන මරියාගේ අමුතු ජීවිතය ස්වකීය ගනුදෙනුකරුවන් අතරේ කුමක්දෝ සොයන්නට පොලඹවනවා... ඈ ජීවිතයේ හැමදාම සෙවූ දෙයක්. ඈ ජීවිතය පිලිබඳ වැරදි වැටහීමෙන් හෙම්බත් කල දෙයක්. බැඳීමක්... සැබෑ ආදරයක්... ඈ දිනපතා අත්දකින ලිංගිකත්වය... එයට වෙන්වන යාන්ත්‍රික 'මිනිත්තු එකොළහ' -  ආදරයේ  බරපතල සාධකයක්ද නැද්ද යන වග...

ඈ හොයනවා. ඇගේ සාමාන්‍ය හෝ විශේෂ ගනුදෙනුකරුවන් අතරේ.... ඈ ඈවම හොයනවා ... ඈ නිකම්ම නිකම් ගණිකාවක් නොවී ඈ 'ආදරය සොයන' ගණිකාවක් බව වටහාගන්නට හැකිවන්නේ , ආදරයෙන් විවාහයෙන් සහ ජීවිතයෙන් හෙම්බත් වූ සුප්‍රකට 29 වියැති සිත්තරෙකු වූ රැලෆ්ටදැයි මරියා සොයනවා. ඈගේ හදවතේ ආදරය සහ 'ජීවිතය' සොයන කවුලු එක එක තමන්ම වසා ගනිද්දී ඈගේ කෑගසා නොකිය හැකි හදවත ඈ අකුරු කරනවා දිනපොතක.

ඉතින් මරියාගේ රුව සිතුවමට නගන පරසිඳු සිත්තරා- රැල්ෆ්ට, හෝ ටෙරන්ස්ට මරියා සොයා යන ලෝකය අහිමි කරන්නට හෝ සොයා දෙන්නට හැකිවේවිදැයි  සොයා බලන්නට ඔබට මේ පොත කියවන්නටම සිදුවෙනවා.

සියල්ලට ගත වෙන්නේ 'මිනිත්තු එකළහක්'! . නිකම්ම නිකම් ඔහේ අනෙකෙකුගේ යටතට වැටී ජීවිතයේ කටුකත්වය විඳින මිනිත්තු එකොලහක්! එපමණද මේ ජීවිතේ? මිනිත්තු එකොළහෙන් ජීවිතයේ සියලු තෘප්තිය තීරණය වේද?

පෘතුගීසී භාෂාවෙන් පාවුලෝ කොයියෝ විසින් ලියවුනු
Onze Minutos නම් මේ කෘතිය සිංහලට පරිවර්තනය කලේ රුවිනි තල්පාවිල විසින්... විදර්ශනා ප්‍රකාශනයක් ලෙස එලි දු‍ටු , මිල රුපියල් 420ක් වූ මේ පොතට ඔබට නිසැකවම අමිල වටිනාකමක් දිය හැකියි. .  විවිධාකාර ලේඛකයන් අතින් භාෂාවන් 40කට වඩා පරිවර්තනය වූ , මිනිස් චිත්තාභ්‍යන්තරයේ තෙරපෙන සදාතනික නොසැනසීම පිලිබඳව අතිශය සංවේදී ඇසකින් ලියවුනු දුලබ ගණයේ කතාවක් මේ....