කෙටි කරපු දිග කතා

මා අසළ ඇති පොත ගැන මෙසේ පළමු සටහන පොත් ගුල තුල ලියා තබමි.

කැමති කෙනෙකුට මෙය කල්ඉකුත් වුනු පොතක් ලෙස වර්ග කල හැක. එහෙත්! මෙය කියවන ඔබ අප මුහුණ සැබෑජිවි‍තයේ මුහුණ නොදුන් එහෙත් අපේම භූමියේ අප සමඟ සිටගත් තවත් සහෝදර ජනතාවකගේ ඉරණම් කථාවයි..

පොත නමින් "කෙටි කරපු දිග කථා"වේ. පිටකවරයේ ඉදිරිපස සිට කවරයේ පිටුපස පිටුව දක්වා ඇත්තේ අඳුරකි.. අළු පාට පිටකවරයේ කාබන් පෑනකින් ඇදි කුරුටු සිතුවමකි. ඒ අසලින්ම පිළිවලක් නැති අකුරු වලින් කුමාරි යැයි සටහන්ව ඇත. කුමාරි කවුදැයි දැනගන්න පොතේ පිටු තුලට යා යුතුය.. ඇය නමින් කුමරි කුමාරගමගේ වන්නීය.. ඔබ ඇය නාදුනයි නම් ඇය පිටුපස පිටකවරයේ ඇතුල් පැත්‍ත බැලීමෙන් දැකගත හැක.. මැදිවිය පසුකරමින් සිටින ඇය කුමාරි කුමරගමගේ යැයි සැක කරනවා හැර අපි වෙන කුමක් කරන්නද?

මම මෙයින් වැඩි යමක් නොලියමි.. කුමාරි විසින් දිලීප නමින් පිදූ එම පොතේ ඇති අකුරු වලට ඔබ හා දොඩන්නට ඉඩ දී මම මගේ අදහස් අහවර කරමි.. තව එක් දෙයක් කිව යුතුව ඇත.. මේ අඳුරු අතීතය සෙමින් මැකී යමින් පවතින්නේ යැයි වර්තමානය අපට පවසයි.. එහෙත් එය මැකී ගියද එහි සෙවනැලි හා අළු යට සැඟව ඇති ගිණිපුපුරු තවම උණුසුම් බවද පවසමි..

"තවත් එක් දෙයක් කිව යුතුය. මේ ලියා ඇත්තේ නැගෙනහිර හෝ ලංකාවේ ඉතිහාස කථාව නොවන බවයි. මෙය විශාල පිංතූරයේ ඉතාම පුංචි කොටසක් පමණි. සේ කොටසින් මුළු පිංතූරයම තේරුම් ගත නොහැකිවාක් මෙන්ම මේ පුංචි කොටස නැතුව පිංතූරය සම්පූර්ණ නොවන බව මම විශ්වාස කරමි. "
කුමාරි
2007 නොවැම්බර්
කොළඹ

පාර්වතී
........
........

රෑ 7 පහු වුනාම අවට ගෙවල් වල කිසි කෙනෙක් ‍එළියට බහින්නේ නැහැ..පාර්වතී කොලුවත් එක්ක 7 වෙනකොට දොර අඟුලු දාගෙන ගේ ඇතුළට වෙනවා.."මොකද මේක එක එක තුවක්කුකරුවන්ගේ පාරාදීසයක්" පාර්වතී කිව්වා..
"හදිස්සියේ වත් චූ බරක් හැදුනොත්?" මම ඇහුවා.. එයා අයිත් හිකි හිකි ගාලා හිනා උනා..
2007


පොන්නුදුරෙයි
අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කරේ නැහැ.. ඉස්සරහට කරන්නෙත් නෑ..බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කලේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක.. අපිට ඉන්නේ දෙයියෝ විතරයි නෝනා..දෙයියො කොහොම හරි මගේ පුතාට ගෙදර එන්න සලස්වාවී..
....
...
..
දෙමළ වෙලා ඉපදුනු පාපෙට දෙයියො මොනා කරන්නද?
2007

මව්වරු හා දරුවන්
එල් ටී ටී ඊ එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුන බයිසිකලේ ඉල්ලලා. එයා කියලා අනේ එක නම් දෙන්න බෑ කියලා..ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියලා..උන් ඒක අහන්නේ නැතුව බයිසිකලේ ළඟට යද්දි බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට කරදර කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියලා.ඒත් උන් බයිසිකලේ අතඇරලා බල්ලාගේ කණට වෙඩි තියලා

ගෙදර ආපු කොණ්ඩේ කපපු ළමයි
"අපි ආයේ ඔයාව බලන්න ආවොත් මොනවද ගේන්න ඕනේ?"

එයා අම්මාගෙන් ඇස් ගලවගෙන ආයිත් මගේ ඇස්වලම පටලගත්තා.. දකුණු අතේ දබරඇගිල්ලෙන් එයගේ ඔළුවේ බෑන්ඩ් එක පෙන්නවා..
"ආ.. ඔළුවේ දාන බැන්ඩ් එකක්.. හ්ම්ම්ම් මොන පාටද?"

ඒ ඇගිල්ලම මගේ ෂර්ට් එක පැත්ට දික්කරා..මම ඇ‍දගෙන හිටියේ රතුපාට ෂර්ට් එකක්.. ෂර්ට් එක දිහා බලපු ඇස් උස්සන්න ඉස්සෙල්ලා මට පළමු වරට එයාගේ කටහඬ ඇහුනා.
"දෙකක්"

මම ගැස්සිලා එයා දිහා බැලුවා.. එයා ඇඟිලි දෙකක් පෙන්නුවා..
"එකක් මට,අනෙක එයාට..."

සිත්තාන්ඩි
කවුද ඉතිං වෙඩි තියලා තියෙන්නේ?

දන් නෑ

ඒල් ටී ටී ඊ ය ද?

නෑ

කරුණද?

නෑ

වෙන කණ්ඩායමක් ද?

නෑ

හමුදාවද?

දන් නෑ

අපිත් ආසයි සිංදු අහන්න.
කන්මනි කන්මනි එන් කාදලීයේ..

ආ.. අක්කත් ආසද? අපිත් හරි ආසයි ඒකට විතරක් නෙවෙයි.. එයාගේ හුඟක් සිංදු වලට ආසයි..අක්කා දන්නවාද අපි ආසම ගායකයා සංගීත්
....
....

ඇයි අක්කේ දෙමළ කථා කරන අයට ඒ ගොල්ලෝ බයද? ඒගොල්ලෝ දෙමළ අය එක්ක තරහද? ඒ වුනාට සංගීත් දෙමළෙනුත් සිංදු කියනවානේ..
...
...
...
එයාට කියන්න කොණ්ඩේ වැවුනම අපි කෝච්චියෙන් එනවා කියලා එයාව බලන්න හරිද? ඔන්න අමතක කරන්නෙපා..

දැනට ඇති ඉතිරි කියවීම් ඔබට බාරයි.. වසර 30ක දිගු කතාවක් කෙටි කරපු කුමාරිගේ පොතේ පිටු205 මම අකුරු 205කට ගොනුකිරීම වැරදි මුත් මම මගේ කොටස ඉටු කලෙමි. ඉතිරිය ඔබට බාරකරමි. දෙමළ කෙල්ලන්ගේ කොටට කැපී කොණ්ඩය දැන් ‍වැවෙනවා ඇති.. එය පිච්ච මලින් සැරසිය හැක්කේ ඔබටයි...!!
අවසානයට පෙර කුමාරිගේම වචන වලින් ඔබට සමුදෙමි.

හේමලතාගේ මට මෙන්ම
පාර්වතීටද
පරමේෂ්වරීටද
නන්දිනීටද
කාලිකුට්ටිටද
අප්පු,පොන්නුදුරෙයි හා කුහලන්ලාටද
නම් නොකියවුනු අම්මලාටද
‍නම් නැති නූ ළමයින්ටද
මේ පොත උපහාරයක් වේවා..
මන්ද,මෙහි වචන සහ පින්තූර ලෙස ඇඳී ඇත්තේ ඔවුනගේම ජිවිත බැවිනි.


සටහන - මලී

තැපැල් කන්තෝරුව

පොත් ගුලට මවිසින් ලියන පලමු ලිපිය මෙය වන අතර,මෙය මා කියවා තිබෙන ආකර්ෂණීයම පොත් අතර මුල් තැනක් ගනී.මෙම කෘතිය කාමය,සුරාව මුල් කරගත් ජීවිතයක විනාශය ප්‍රධාන භූමිකාවටද නොදැනෙන පරිදි විකාශණය කරයි.පොත නම් ෂ්රීනි අබේගුණරත්න පෙරේරා විසින් පරිවර්ථිත තැපැල් කන්තෝරුවයි.මෙය පිළිබඳව මා මෙහි ලිවීමට පෙර මවිසින් මෙම කෘතිය බින්කු සහෝදරයාට යෝජනා කල අතර,ඔහුගෙන් මේ කෙරෙහි ඇතිවූ ප්‍රසාදය හේතු කොට ගෙන ජර්මානු ජාතික චාල්ස් බුකොව්ස්කි විසින් රචිත The Post Office හී පරිවර්ථිතය පිළිබඳ ලියන්නට සිත්වීමි.

මෙම කතෲවරයා බොහෝදුරට කාමුකත්වය සහ බේබදුකම හේ ගේ කෘති වල උච්ඡස්ථානයක තබා කටයුතු කර තිබෙන අතර,මොහුගේ අනෙකුත් කෘතීන් අතර වන කාමුකයාගේ දිනපොත සහ බේබදු මිත්‍රයා වැනි කෘතීන්ගෙන් මනාව පැහැදිලි වෙයි.වැඩි දුර සොයා බලන කල මෙහි දීර්ඝ ලෙස ජර්මානු සමාජය ව්‍යුත්පන්න කරයි.සිද්ධිය ඇරඹෙන්නේ රැකියාවේ නියුතු වන හෙන්‍රි චයිනාස්කි හෙවත් කතානායකයාගෙනි.රැකියාව තැපැල්කරුය.පුරුදු පරිදි මෙහි ආරම්භයද ස්ත්‍රීත්වය මදක් පහල හෙලීමකි.
නරකම නැත.එනමුදු තුන්වෙනි හෝ හතරවෙනි වරට ඇය සමග යහන්ගත වූ පසු අන් සෑම ගැහැණියක අරඹයා මෙන් මැය ගැනද ආශාව හීන වූයෙන්නැවත එම දිශාව නෝ නොබැලුවෙමි.
ඔහු සිතින් තම ජීවිකාව පිලිබඳ ආඩම්බර වෙයි.
දෙවියනේ ලියුම්කාරයෝ. . .ඇත්තටම මොවුන් අතින් සිදුවන්නේ කුමක්ද?ලියුම් පෙට්ටි තුලට ලියුම් එබීමත්,ගැහැණුන් සමග නිදිවැදීමත් විතරමනේ.ෂා. . .!මටම කියාපු රස්සාව.ඕහ්. . .ඔව්...ඔව්...
චයිනාස්කි සුපුරුදු පරිදි තමාගේ ප්‍රධානතම මිතුරන් වන කාමය සහ සුරාව සමග වෙළෙමින්. . .මුල් පරිච්ඡේද තුල පරහට සිටින ඔහුගේ ආයතන ප්‍රධානී ජෝන්ස්ටෝන් සමග ගැටෙමින් අවසානය තෙක් කතාව දිව යයි.එහෙත් කිසි සේත්ම ඒකාකාරී ගතියක් දැනෙන්නේ නැත.
ප්‍රධානියා වුනේ කුළු මීමෙකු මෙන් ගෙලක් තිබූ ජෝන්ස්ටෝන් නැමැත්තෙකුය.එහි සේවක අඩු පාඩුවක්නිරන්තරයෙන්ම තිබුණතර,එයට හේතුව ඉක්මනින්ම මා හට අවබෝධ විය.
මහන්සියත් සමග රැකියාවේ එපාවීම්,ස්ථීරවීම්,දික්කසාද,සොරකම්,මුළු ගැන්වීම්,නිදි වැදීම්,සූදුව,සුරතල් සතුන්,ගණිකාවන්,ආහාර,දේපොල, මිනීමරුවන්,සිගරට් අළු මිශ්‍රිත බියර්,ජින්,වොඩ්කා,කාර්,අවමගුල්, රම්,දරුවන්,දඩයම් ඔස්සේ දිගහැරෙන උදාසීන අවසානයක් සහ සිතීමට යමක් ඉතිරිකර චාල්ස් බුකොව්ස්කි මෙහි අවසන් තිත තබයි.
පසු දින උදෑසන,උදෑසනක්ම වූ අතර,මමද පණ පිටින් සිටියෙමි.බාගවිට,පොතක් ලියන්නෙමැයි සිතුවෙමි.ඇත්තෙන්ම ලීවෙමි.

ලිව්වේ : මුචලින්ද

මම රාත්‍රිය වෙමි
















නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...

නීට්ෂ 'අධිෂ්ඨානය' නම් සංකල්පයක් 'තණ්හාවට' අනිත් පස තැබුවේය. නිට්ෂ ගෙ දර්ශනය ගැන සිංහලෙන් ලියැවුන පොත් එකකි. ගුණපාල ධර්මසිරි නීට්ෂ ගැන පමණක් නොව අනෙකුත් දර්ශන-දර්ශනාන්තරයන් පිළිබඳවද ප්‍රමාණිකයෙකි. ඔහු නීට්ෂ ගැන ඉහත කී එකම පොත ලිවීය. 1980 දශකයේ අගට වන්නට සාංදෘශ්ඨික වාදය ගැන විවිධ වාද-ප්‍රවාද විසින් කොළඹ මතාන්තර අවකාශය ගිලගති. 1988-89 කැරළි සමයත් 'අහිමි විප්ලවයත්' විසින් ඇති කිරීමට නියමිත රික්තකයට අවශ්‍ය වූ 'ගුප්තවාදයන්' ප්‍රචලිත වෙමින් පැවතිණ.


1988මම රාත්‍රිය වෙමි පළවන්නේ මෙකී පූර්විකාවේ කොටසක් ලෙස යැයි මට සිතේ. හේමරත්න ලියනආරච්චි අපට සිටින අනගි ලේඛකයෙකි. ඔහුගේ 'මම රාත්‍රිය වෙමි' ෆ්‍රොයිඩ්,නීට්ෂ හා ගෞතම බුද්ධ එක පෙළට සිටවමින් පසුව සිදුවූ විවිධ හරඹයන් ගේ මූලාරම්භය ද? සංයුක්ත පිළිතුරක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැත.

හේමරත්න ලියනආරච්චි රෝගාතුරව සිටින බව නදීජා කීවා ය.


'මම රාත්‍රිය වෙමි' මුල් වරට කියවුවා ට පසු පසුගිය දශක දෙක පුරා එහි පිටපතක් සොයමින් පොත් කඩ පීරූ මුත් එකක් සොයා ගත නොහැකි විය. 2008 නැවත වරක් 'මම රාත්‍රිය වෙමි මුද්‍රණය වී ඇත. මුල් වර කියවූවාට පසු නැවත යොවුන් ආවේගයකින් යුතුව එය කියවීමට පටන් ගත්තේ මරදානේ ආනන්දය ඉදිරිපිට බස් නැවතුමෙදී ය. එය දෛවෝපගත සිදුවිමක්ද?

'ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයෙහි සිතෙහි කිසියම් ආරක්ෂා සහගත බවක් තිබිණ.' - 29 පිට

ඊයේ රාත්‍රියේ දස්තයෙව්ස්කි මා බලන්නට ආවේ ය. – 1 පිට


මේ කිසිදු සිංහල නවකතාවක හමුවන වැකියක් නොවේ. 'මම රාත්‍රිය වෙමි' 1960 දශකයේ සමාජ පසුබිම මත පිහිටා ලියැවුන, හරි හමං විචාරයකට ලක් නොවූ කතාවකි. බණ්ඩාර ගේ 'භින්නෝන්මාදී' මනසින් එළියට එන්නේ 'පසු නිදහස්' යුගයේ උපන් භින්නෝන්මාදය යැයි මට හැඟේ.

එවිට මම බණ්ඩාර නොවෙමි. මම චරිතයක් වෙමි. වචන ගොඩක් වෙමි. අකුරු ගොඩක් වෙමි. – 17 පිට

මේ ටෙක්ස්ට් -text’ හෝ කතිකා ව-discourse’ හෝ යනුවෙන් පසුව ඇතිවූ විදාරණයේ පෙරවදන යි. අමරසේකර (යළි උපන්නෙමි ) ගුනසිංහ (හෙවනැල්ල ) අජිත් තිලකසේන (පිටුවහල් කර සිටිද්දී ) ආදී කතා කරුවන්ගේ පෙළෙහි ඊළඟ පොත 'මම රාත්‍රිය වෙමි' විය යුතුය.

තාත්තා එක්ක යකෙකුටවත් ඉන්න බෑ. මම ඇත්ත කියන්නම්, මට අනන්ත හිතිල තියෙනවා තාත්තා ව මරල දාන්න.....සහතිකයි... – 97 පිට

මචං, ආනන්තරිය පාපයක් වෙච්ච පීතෲ ඝාතනය; ඒක උරුමයක් වෙච්ච.. ඉතිහාසයක් වෙච්ච අපේ අතින් සූත්‍ර ගත නොවුනේ ඇයි?’ මම සමන් ගෙන් ඇසීමි. මචං 1976 විතර ආපු 'ජෝර්ජ් ඊ වීරකෝන්' ගේ 'පුතේ උඹේ මාළිගාව' කියවලා තියෙනවද?’ සමන්ගේ පිළිතුර ජනේරු දා දුරබණන ජාල තදබදයෙහි කැඩි කැඩි ගිලි ගියේය.


මම ආසා පොත් එක් එක් ගොණු වශයෙන් රාක්කයේ එක තැන තැබීමට ආසා කරමි. සිද්ධාර්ථ ගරුසිංහ පරිවර්තනය 'මම රාත්‍රිය වෙමි' හා එක තැන තැබීම මගේ කැමැත්තයි.


නීට්ෂ ට මෙන් පත රැවුලක් බුදුන් ට නොවී...

කෙලෙස් පර්වත





තමා විසින්ම තමා සොයා ගැනීමට දැරූ තැත පිලිබඳ අපට අසා පුරුදු කතා පුවත් ලෙස සිදුහත් කුමරා විසින් සත්‍ය සොයා අබිනික්මන් කල කතා පුවත, නසරතයේ ජීසස් හෙවත් යේසුස් තුමා සත්‍ය සොයා යෑම පිබඳ කතා පුවත ආදිය බව මා පෑසුවොත් ඔබ සැම මා සමඟ එකඟ වේ යැයි මා සිතමි . . . ! !

එවන් වූ පුරණෝක්ති කතා වල ශෛලියට වඩා වෙනස් නමුත් ඒවායේ ආභාෂය ත් බෞද්ධ දර්ශයේ හා ඉන්දීය උපනිෂද් ධර්ම වල කරුනු තර්කානුකූලව විග්‍රහ කරමින් ඒවා ඇසුරු කර ගනිමින් . . ලියූ පොතක් ගැනයි මා මේ සටහනින් ඔබ සැමට දන්වා සිටීමට සිතුවේ . .

තවදුරටත් ඒ පොතෙහි . . අප කිහිප දෙනෙක් හෝ නිතර මුහුන දෙන කිසියම් හුරු පුරුදු මනෝභාවයක් වූ . . . යම් කිසි වෙකු මුන ගැසුනු විට, මීට පෙර ඔහු හෝ ඇය මුන ගැසී තිබෙනවා වැනිව දැනෙන හැඟීමත් . . . කිසියම් පෙදෙසකට ගිය විටෙක දැනෙන (නමුත් මතක ඇති සැටියට ජීවිතයේ කෙදිනක වත් නොගිය බව දන්නා පෙදෙසකට ගිය විට දැනෙන)මේ පෙදෙසට මීට කලින් පැමින තිබෙනවා නොවේදැයි දැනෙන හැඟීමත් . . . කිසියම් වූ සිදුවීමක් සිදුවීමේදී . . මේ සිදුවීම මේ අකාරයාම මීට කලින් සිදුවී තිබෙනවා නොවේදැයි දැනෙන හැඟීමත් . . . සියුම් ලෙස එහෙත් සිතට දැනෙන ලෙස විස්තර කරමින් ලියූ අපූරු පොතක් . . .

මා කලින් ලියූ "සත්‍යක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍ය" බ්ලොග් සටහනට පාදක කර ගත්තේත් මේ පොතේ තිබුනු කොටසක් . . නමුත් එය මගේ මතකයේ රැඳී තිබුනු අයුරින් ලිවූ බව එම ලිපියේ කොටසත් . . . මෙහි එකතු කර ඇති පොතින් ස්කෑන් කල ඒ අදාල පිටුවත් කියවූ පසු ඔබට වැටහෙනවා ඇති . .

මගේ අදහස නම් . . . ඔබ, මේ මා එකතු කල පිටුත් . . . එහි අන්තර්ගතය ගැන මා කල කෙටි සටහනත් කියවූ පසු මේ පොත බැලීමට ඔබට ඇතිවන ආශාව සංසිඳුවා ගැනීමට නම් ඉක්මන් නොවන එකක් නැති බවයි . . . තව දෙයක් . . . මෙම ග්‍රන්තය 2005 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පවා දිනාගෙන තිබෙනවා . . . ! ! !

එය ලියූ කතුවරයාගේ නම "සමරවීර විජයසිංහ" ඔහුගේ දුරකතන අංකය 034-2276746. යම් හෙයකින් පොත කියවා ඒ ගැන ඔබේ අදහස් ඔහුට දැන ගන්නට සැලැස්සුවොත් ඔහුගෙන් අනාගතයේදී තවත් සාර්ථක නිර්මාණයක් එලිදැක්වීම ඉක්මන් කිරීමට හේතු සාධකයක් වේවී කියා මට සිතෙනවා . .. .





ලිව්වේ : දුකා

ජාතකය සොයා යාම:බත්තලංගුණ්ඩුව


ඇන්ටනී නම් වූ ජීවියා සමාජය තුල විවාහය නම් වූ බෞතිස්මය ලබන්නට සිය ජන්මයට අදාල ශුක්‍රාණුවේ භාරකාරත්වය සොයා යන වීර චාරිකාවක් ලෙස බත්තලංගුණ්ඩු‍ව වර්ග කිරීම අසාධාරණ විය හැක.. නමුත් එය එසේ වර්ග කිරීමෙන්ම මම සටහන ආරම්භ කරමි.

නගරයේ සන්නාසියෙකු වන මා ඈත නන්නාදුනන කොදෙව්වක් සොයා යන්නේ කුඩා ලමයෙකු නොව වැඩ්හිටියෙකු අල්ලා ‍ගෙන ඒමටය.ඔහු කවුරුන් හෝ වැඩිහිටියෙකු නොව මගේ අනන්‍යතා සහතිකය ඇති මගේම තාත්තාය

ඇන්ටනී සමාජීය ජීවියෙකි.කලාකරුවෙකු වුවද ඇන්ටනී හට සමාජයෙන් ගැලවි‍ය නොහැකි වන්නේ එනිසාය. ත්‍රිසා වෙනුවෙන් යැයි සිතා සිටියත් සමාජය වෙනුවෙන් ඇන්තනී බත්තලංගුණ්ඩුවට යාත්‍රා කරයි..

ඉකුත් මූසල සන්ධ්‍යාවක මුස්පේන්තු භාවය අහෝසි කරනු පිණිස මම විවාහයේ කල්වාරි දුර්ගය තරණය කිරීමට එන ලෙස ඇයට යෝජනා කලෙමි.පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මාගෙලෙහි එල්ලී දෙතොලමත ලිප්ස්ටික් තවරනු ඇතැයි මට සිතුනද අන්ධකාර ගෙහන්නාවේ මුඩු ආලෝකය ඈ මුහුණේ පැතිරින.මම වික්ෂිප්ත වීමි...
'ඇයි අකමැතිද?'
ඇය සීරියස් වෙමින් සිටියාය..
'මම කැමතියි දැන් වුනත්...'
'එහෙනම්'
ඇයට කෙළ ගිලින.ඒ සමග පිලිතුරද ආමාශගතවන්නට ඇත.'

බත්තලංගුණ්ඩුව හතර අතින් මුහුද මායිම් කර ගෙන තිබුනත් මුහුද පවා තුට්‍ටුවක මායිමකට නොගත් කොදෙව්වකි. වෙනත් සීමා බත්තලංගුණ්ඩුවට අදාල නොවන්නේ ඒ නිසාය..

'දෙන්නම සිංහල නම් ඇයි දෙමලෙන් කතා කරන්නේ'
පිලිතුර ලැබෙන්නේ අනිකාගෙනි. මෙයා සිංහල වුනාට සිංහල කතා කරන්න බෑ..! මෙයා පොඩිකාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ දූපතේ. ඒ හින්දා සිංහල දන්නෑ.ඇත්තම කියනවානම් මටත් සිංහලට වඩා දෙමල ලේසියි.'

ජීවිතයක දිග පලල මිස ජාතියක භාෂාවක බරක් පතලක් නොමැති වීම ඔවුන් ලත් භාග්‍යයකි. දැලෙහි පැටලෙන මාළුන් මිස ජාතිය ඔවුනට යැපීමේ මාර්ගයක් නොවේ.

බත්තලංගුණ්ඩුව තුල මිනිසුන් පාලනය වනුයේ සිය වුවමනාවන් මතිනි. ග්‍රේටා ඇඩ්ඩිංගේ භාර්යාව වුවද ආනාමරියාට ඊර්ෂ්‍යා කරන්නේ එනිසාය. ඇඩ්ඩිං පවා හුදෙක් මාළුකාරයෙක් වුවද ඉන් එහාට ඇදුන ජීවිත ඥාණයක් ඇත්තෙකු වීමට බත්තලංගුණ්ඩුව හේතු වන්නේ මෙසේ යැයි කීමට පිටුගාණක් පුරා සාක්ෂි නිර්මාණය වී ඇත.

'උඹේ ඇස් ඉස්සෙල්ලම දැක්කෙ මම, ඒත් මම උඹේ ඇස්වලින් මගේ හීන දකින්න ගියේ නෑ'
'ලෝකෙට එබිලා බලන්න මම උඹට නිදහස දුන්නා.මං උඹට ඉලක්කයක් දුන්නෙ නෑ.උඹේ ඉලක්කය උඹම හොයාගත්ත එකක්. වෙන මොනාද තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන්..'

බත්තලංගුණ්ඩුව තුල පවතින ජී‍විත සරලය. ඔවුන් සියළුදෙනා නොපෙනෙන හෙටකට වඩා පවතින ‍අද තුල ජිවත්වෙති.ඒ තුලින් ඔවුන් අප‍ට නොපෙනෙන ගැඹුරක් අප සමග හුවමාරු කර ගනී.

'කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නෙනෑ. සමහරවිට ඒ මගේ අම්මවත් ආත්තම්වත් නොවෙන්න පුළුවන්.සමහරවිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරව්ට ඒ දෙන්නම වෙන්නත් පුළුවන්.'

බත්තලංගුණ්ඩුව මට එළ පොතක් වනුයේ ඒ නිසාය..

'මිනිස්සු සල්ලි දීලා ඉට්පන්දම් පත්තු කරන්නෙ මොකටද ? ඉටිපන්දමේ වියදම වගේ ලක්ෂ ගාණක් බලාපොරොත්තුවෙන්... ඒත් ඒක ඒ මිනිස්සු දන්නෙ නෑ '

නොකියැවූ ආදරය :: මලගිය ඇත්තෝ

ඇතැම් අවන්හල්වල නාමපුවරු ඉංග්‍රීසියෙන් ලියා තිබුනි. ඒවායේ ඉංග්‍රීසි දන්නා සේවිකාවන් ඇතැයි මම සිතුවෙමි.මම ඔවුන් හඳුනමි.පාරම්පරිකව ජපන් ස්ත්‍රිය ඇබ්බැහි කල ආචාරශීලය ඔවුන් තුලද දක්නට ලැබෙන මුත් දැන් ඔවුන් ඒ ආචාරශීලය වෙළඳ බඩුවකට හරවාගෙන ඇත.
කථාව ඇරඹෙනුයේ දෙවොන්දරා සං ජපානයට යාමත් සමගය.මම දෙවොන්දරා සහ කුන්දේරාගේ ටොමාස් සංසන්දනය කරමි. දෙවොන්දරා අහිංසකය ටොමාස්ගේ පර්යේෂණ ලිංගිකත්වය වෙනුවට දෙවොන්දරා ආදරය සොයා යයි.
නොරිකෝ පර්යාය වනුයේ සාම්ප්‍රදායික ජපන් ස්ත්‍රියට වඩා ලාංකීය ස්ත්‍රියටය. ඇගේ බිය, පෙම්බරත්වය, පක්ෂපාතීත්වය, ආදරය, තුල අපිට හුරු පුරුදු බැඳියාවක් පවතිනුයේ එබැවින් යැයි මට සිතේ.නිදහස් චින්තනය අගය කරන දෙවන්දොරාටද ඇය ඊර්ෂ්‍යාවක් ගෙන එයි.
මම විදේශිකයෙක් වෙමි. ඔහු ස්වජාතීය කෙනෙකි.ඈ මගේ සමාගමය ප්‍රියකලද ඇගේ ජීවිතයට මට සම්පූර්ණයෙන් පිවිසිය නොහැක.

මම ඔවුන්ගේ සම්බන්ධයට රුකුල් දිය යුතුයැයි මම සිතුවෙමි.එවිට ඇගේ වාසනාව සඳහා මම පරිත්‍යාගයක් කල කෙනෙක් වන්නෙමි. එවිට මට සැනසීමක් ලැබිය හැක.මම උතුම් ගුණයෙන් යුත් පෙම්වතෙක් වන්නෙමි.

දෙවොන්දරා රහසේම නොරිකෝට පෙම් කරයි.දෙවොන්දරා නොරිකෝ සං ගෙන් සඟවන ආදරය එලි බසිනුයේ ඔහුටත් නොදැනීමය.
ප්‍රීති වූ කල නොරිකෝ සංගේ මුහුණ තරම් පැහැපත් මුහුණක් මා දැක නැති තරම්ය. ඒ වගේම දුකින් පිරුණු ඇගේ මුහුණ තරම් මලානික මුහුණක්ද මා දැක නැත.ඈ දුක සැප දෙකෙහිම එක සමාන තියුණු ආස්වාදයක් විඳින්නී යැයි මට සිතුනි.

එක් විටෙක දෙවොන්දරා මෙසේ නොරිකෝ හට ලියා යවයි.
ඔබ නැත්නම් මේසා විශාල තෝකියෝ නගරයේ මා කුමක් කරම්ද? ඔබගෙන් තොරවූ තෝකියෝ නගරයක් මා නොදනිමි.තෝකියෝ වීදි මා ඔබ සමග ගිය වීදිය , තෝකියෝවේ බොජුන්හල් මා ඔබ හා අනුභව කල බොජුන්හල්ය, තෝකියෝවේ කෝපිශාලා මම ඔබ හා පැය ගනණක් ගතකල කෝපිශාලාය ජපානයේ කෑමවර්ග ඔබ මට සියතින් පිසදුන් කෑමවර්ගය ඒ නිසා ඔබෙන් තොරවූ තෝකියෝ නගරයක් හෝ ජපානයක් ගැන මම නොදනිමි.

නොරිකෝ සිය ආදරය ප්‍රකාශයෙහි ලා දෙවොන්දරාට වඩා ඉදිරියෙන් සිටී තම විදේශික ප්‍රේමය නොරිකෝ ආදරයෙන් වැලඳගනී.
යනව නම් දෙවොන්දරා සංගෙ සුවඳ මේ ඇඳුම්වල තියලා යන්න.
දෙවොන්දරා රමණීය මිනිසෙකි. දෙවොන්දරා හොඳ මිනිසෙකි. එහෙත් ආදරයේදී දෙවොන්දරා පසුගාමීය.
සරත්චන්ද්‍රයන් ජයලත් තරම් ප්‍රේමණීය ලෙස ප්‍රේමය නොහසුරුවයි.කුන්දේරා තරම් දාර්ශනිකත්වය කරාද ගමන් නොකරයි. එහෙත් දෙවොන්දරා හා නොරිකෝ සං අපට ලෙංගතුය. මලගිය ඇත්තෝ මට හිතවත් වන්නේ එලෙසය.
මම අවට බලමි. මෙහි තතමි පැදුරු නැත. අප සියළු දෙනා වාඩිවී සිටින්නේ පුටුවලය. තමා බිම වාඩිවීමට ප්‍රියකරන බවද පුටුවලට අකමැති බවද නොරිකෝ වරක් කීවා මට මට සිහිවේ. මධු තොල ගෑමට දිදාල වැනි කුඩා විත් මෙහි නැත අපි බොන්නේ ලොකු වීදුරුවල එක උගුරටය මෙහිදී නොරිකෝගේ ආචාර ශීලය ශෝබන වීමට ඉඩ නැත. එය හාස්‍යජනක වීමටද ඉඩ ඇත.

දෙවොන්දරා හමුවුවහොත් මම එක පැණයකට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඒ ඇයි දෙවොන්දරා ඒ ඇයි?

බත්තලංගුණ්ඩුව :: මංජුල වෙඩිවර්ධන

Free_by_drsmith

"බත්තලංගුණ්ඩුව" පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්‍යත්වයේ ප්‍රකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි.

ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ ආකාරයේ පරිපූර්ණත්වයකින්ය. නාගරිකත්වයේ සිට ඈත කොදෙව්වකට පියා සොයමින් යන ඔහු අන්තිමේදී සොයා ගන්නේ ඔහු සෙවූ පියා ඔහු තුලම සිටි බවයි.

"කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුනා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව"

ගන්ධබ්බ ආත්මයකට පරිපූර්ණ වූත් අවංක වූත් මිත්‍රත්වය මුණ ගැසෙන්නේ තිතක් වත් නොවන බත්තලංගුණ්ඩුවේදීය. සින්බෑඩ්, ක්‍රිස්ටො පුද ලබන මිත්‍රත්වය හා සමානම මිත්‍රත්වයක් ඇන්ටනී එවෙලේ අඳුන ගන්නා පොලිස් කොස්තාපල් වාස් වෙතින් අත් විඳී.

නාගරික පරිසරයක දහසක් මිනිසුන් මැද බිත්ති සතරක සිරකරුවන් වී ප්‍රේමය රඟ දැක්වූවන් නිදහස අත්විඳින්නේ බත්තලංගුණ්ඩුවේදී ය. ගැහැණියෙකුත් මිනිසෙකුත් අතරට කඩා වැදි සමාජය විසින් පනවනු ලැබූ දම් වැල් බිඳී වැටෙන්නේ එහිදීය. ආනමරියා එම යදම් බිඳ දමන්නේ ඇන්ටනීටත් නොදැනෙන සෞම්‍යත්වයෙනි.

"නාගරික ප්‍රේම දුක්ප්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක ප්‍රේමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද? මා මෙතරම් ම නිදහස් ව ප්‍රශ්වාස සුසුම් හා මුසුකොට පාකොට හරින්නේ මෙතෙක් මා අත් විඳි හෘදයේ අධි පීඩනය නොවේ ද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළඟින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරෙක්ද?"

තමාගේ පුත් හා තම තරුණ බිරිඳ එක් වෙන බව දැන ගන්නා ඇඩ්ඩින් මුදලාලි අසම්මත පෙම්වතුන් ලෙස ඔවුන් හඩු නොගසා ඒ බව ඉවසා සිටින්නේ එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වාභාවය බව දැනගෙන ද? තරුණ ගැහැණියෙකුත් තරුණ පිරිමියෙකුත් අතර ලිංගිකව ඇති වෙන සබඳතාවයක ඇති අසාමාන්‍ය බව කුමක් ද? සිත් තුල ඇති වෙන අසාමාන්‍ය බව හුදෙක් සමාජ නිර්මිතයින් පමණක් නොවෙ ද?

එක් එක් පුද්ගලයා මත සමාජය විසින් පවරනු ලබන සියලු චරිතයන් දියව ගොස් ඒවා නැවත මුල සිට අර්ථ දැක්වෙන ආකාරය ඇන්ටනී අත් දකින්නේ මුල් වතාවට ය. මානුෂික සබඳතා රඳා පවතින්නේ මනුෂ්‍යයින් මත බවත් සමාජ නිර්මිත නාමයන් මත නොවන බවත් ඔහු අත් විඳී.

"ඇන්ටනී, කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නේ නෑ. සමහර විට ඒ මගේ අම්මවත්, ආත්තම්මවත් නොවෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නම වෙන්නත් පුලුවන්."

බත්තලංගුණ්ඩුව තුල රාජ්‍යයක් නොමැත. රාජ්‍ය නීතිය ඒ තුල බල නොපායි. පොලීසිය, හමුදාව හා විමුක්ති කොටි වෙසෙන විල්පත්තුව මධ්‍යයේ ඒ සියල්ලටම වියුක්තව බත්තලංගුණ්ඩුව ස්ථානගතව ඇත. භෞමික අඛන්ඩතාවය, ජාතිවාදය, විමුක්තිය ආදී සංකල්ප මෙම කොදෙව්වට වලංගු නැත. එහි ඇත්තේ මනුෂයත්වය පමණි. එහි ගහ මරාගන්නේ විමුක්තිය උදෙසා නොව ස්වභාවිකව අවශ්‍ය මූලික සංකල්ප සපුරා ගනු පිණිසය. නේවි එකෙන් කකුල් කැඩූ ඩිඩාකස් හට කොටි පිළිබඳ කරුණාවක් නොමැත. කොටින් විසින් බෝට්ටුව උදුරා ගනු ලැබූ ඇල්බා හට රජයට පක්ෂපාතීත්වයක් නැත. සංකීර්ණ සංකල්ප වෙතින් සම්පූර්ණයෙන්ම නිදහස් බවක් එහි නිතරම පවතී.

මෙකී නොකී සියලු නිදහසින් පිරි බත්තලංගුණ්ඩුව නාගරිකයාට ඊඩ්න් උද්‍යානයයි. වරෙක පිටුවහල් කරනු ලැබූ ඇන්ටනී නැවත එහි පැමිණ අත් විඳින විමුක්තියත්, විපර්යාසයේ තෘප්තියත් පිළිබඳ වීර කතාව මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව"යි.

"හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතය මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස.... හැම තැනම අහස.....

අහස."