නොකියැවූ ආදරය :: මලගිය ඇත්තෝ

ඇතැම් අවන්හල්වල නාමපුවරු ඉංග්‍රීසියෙන් ලියා තිබුනි. ඒවායේ ඉංග්‍රීසි දන්නා සේවිකාවන් ඇතැයි මම සිතුවෙමි.මම ඔවුන් හඳුනමි.පාරම්පරිකව ජපන් ස්ත්‍රිය ඇබ්බැහි කල ආචාරශීලය ඔවුන් තුලද දක්නට ලැබෙන මුත් දැන් ඔවුන් ඒ ආචාරශීලය වෙළඳ බඩුවකට හරවාගෙන ඇත.
කථාව ඇරඹෙනුයේ දෙවොන්දරා සං ජපානයට යාමත් සමගය.මම දෙවොන්දරා සහ කුන්දේරාගේ ටොමාස් සංසන්දනය කරමි. දෙවොන්දරා අහිංසකය ටොමාස්ගේ පර්යේෂණ ලිංගිකත්වය වෙනුවට දෙවොන්දරා ආදරය සොයා යයි.
නොරිකෝ පර්යාය වනුයේ සාම්ප්‍රදායික ජපන් ස්ත්‍රියට වඩා ලාංකීය ස්ත්‍රියටය. ඇගේ බිය, පෙම්බරත්වය, පක්ෂපාතීත්වය, ආදරය, තුල අපිට හුරු පුරුදු බැඳියාවක් පවතිනුයේ එබැවින් යැයි මට සිතේ.නිදහස් චින්තනය අගය කරන දෙවන්දොරාටද ඇය ඊර්ෂ්‍යාවක් ගෙන එයි.
මම විදේශිකයෙක් වෙමි. ඔහු ස්වජාතීය කෙනෙකි.ඈ මගේ සමාගමය ප්‍රියකලද ඇගේ ජීවිතයට මට සම්පූර්ණයෙන් පිවිසිය නොහැක.

මම ඔවුන්ගේ සම්බන්ධයට රුකුල් දිය යුතුයැයි මම සිතුවෙමි.එවිට ඇගේ වාසනාව සඳහා මම පරිත්‍යාගයක් කල කෙනෙක් වන්නෙමි. එවිට මට සැනසීමක් ලැබිය හැක.මම උතුම් ගුණයෙන් යුත් පෙම්වතෙක් වන්නෙමි.

දෙවොන්දරා රහසේම නොරිකෝට පෙම් කරයි.දෙවොන්දරා නොරිකෝ සං ගෙන් සඟවන ආදරය එලි බසිනුයේ ඔහුටත් නොදැනීමය.
ප්‍රීති වූ කල නොරිකෝ සංගේ මුහුණ තරම් පැහැපත් මුහුණක් මා දැක නැති තරම්ය. ඒ වගේම දුකින් පිරුණු ඇගේ මුහුණ තරම් මලානික මුහුණක්ද මා දැක නැත.ඈ දුක සැප දෙකෙහිම එක සමාන තියුණු ආස්වාදයක් විඳින්නී යැයි මට සිතුනි.

එක් විටෙක දෙවොන්දරා මෙසේ නොරිකෝ හට ලියා යවයි.
ඔබ නැත්නම් මේසා විශාල තෝකියෝ නගරයේ මා කුමක් කරම්ද? ඔබගෙන් තොරවූ තෝකියෝ නගරයක් මා නොදනිමි.තෝකියෝ වීදි මා ඔබ සමග ගිය වීදිය , තෝකියෝවේ බොජුන්හල් මා ඔබ හා අනුභව කල බොජුන්හල්ය, තෝකියෝවේ කෝපිශාලා මම ඔබ හා පැය ගනණක් ගතකල කෝපිශාලාය ජපානයේ කෑමවර්ග ඔබ මට සියතින් පිසදුන් කෑමවර්ගය ඒ නිසා ඔබෙන් තොරවූ තෝකියෝ නගරයක් හෝ ජපානයක් ගැන මම නොදනිමි.

නොරිකෝ සිය ආදරය ප්‍රකාශයෙහි ලා දෙවොන්දරාට වඩා ඉදිරියෙන් සිටී තම විදේශික ප්‍රේමය නොරිකෝ ආදරයෙන් වැලඳගනී.
යනව නම් දෙවොන්දරා සංගෙ සුවඳ මේ ඇඳුම්වල තියලා යන්න.
දෙවොන්දරා රමණීය මිනිසෙකි. දෙවොන්දරා හොඳ මිනිසෙකි. එහෙත් ආදරයේදී දෙවොන්දරා පසුගාමීය.
සරත්චන්ද්‍රයන් ජයලත් තරම් ප්‍රේමණීය ලෙස ප්‍රේමය නොහසුරුවයි.කුන්දේරා තරම් දාර්ශනිකත්වය කරාද ගමන් නොකරයි. එහෙත් දෙවොන්දරා හා නොරිකෝ සං අපට ලෙංගතුය. මලගිය ඇත්තෝ මට හිතවත් වන්නේ එලෙසය.
මම අවට බලමි. මෙහි තතමි පැදුරු නැත. අප සියළු දෙනා වාඩිවී සිටින්නේ පුටුවලය. තමා බිම වාඩිවීමට ප්‍රියකරන බවද පුටුවලට අකමැති බවද නොරිකෝ වරක් කීවා මට මට සිහිවේ. මධු තොල ගෑමට දිදාල වැනි කුඩා විත් මෙහි නැත අපි බොන්නේ ලොකු වීදුරුවල එක උගුරටය මෙහිදී නොරිකෝගේ ආචාර ශීලය ශෝබන වීමට ඉඩ නැත. එය හාස්‍යජනක වීමටද ඉඩ ඇත.

දෙවොන්දරා හමුවුවහොත් මම එක පැණයකට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඒ ඇයි දෙවොන්දරා ඒ ඇයි?

5 ප්‍රතිචාර:

වෙජී‍ said...

එළ එළ, දෙවෙනි එකත් කියවපන්.

නිශාන්ත අනුරුද්ධ said...

මේක එල පොත් ගුලක්නේ. අහම්බෙන් ගොද වැදුනේ.
එල

/නිශාන්ත

දුකා said...

මට නම් මළගිය ඇත්තෝ පොතයි . . . මළවුන්ගේ අවුරුදු දා පොතයි දෙකම මගේ ජීවිතයේම කොටසක් වගේ . ..

Ramachandra said...

සිංහල නවකතා වලින් මට සෙට් වුන පොත් ගාන 10ට වැඩි නැතිව ඇති.ඒ සෙට් එකට සරච්චන්ද්‍රගේ මේ මලගිය ඇත්තෝ එකයි එයාගෙම වල්මත් වී හසරක් නුදුටිමි එකයි වැටෙනවා

Anju said...

දුකා අයියා කිව්වා වගේ ජිවිතේ අමතක කරන්න බැරි පොත් ගොඩට අයිති පොතක්... (මේ බ්ලොග් අඩවිය දැක්කේ අදයි..ඉතාම හොඳ වැඪක් ...දිගටම කරගෙන යන්න මගෙන් සුභ පැතුම්..!!! )

Post a Comment