1984 : උතෝපියා සිහිනයේ අධිපතිවාදී අන්තය


ඉංග්‍රීසි සාහිත්‍ය තුල සාමාන්‍යයෙන් කියවන්නට ලැබෙන මානුෂීය හැඟීම් නැවත නැවතත් සනාථ කරනා ආකාරයේ ප්‍රබන්ධයන්ට වඩා වෙනස් වූත් ඒවාට වඩා අශුභවාදී වූත් කතාවක රස විඳීමට ලැබීම එක අතකින් නැවුම් අත්දැකීමක් වූ අතරම අනෙක් අතින් එක්තරා ආකාරයක බියක් සිත තුල ජනිත කිරීමට සමත්ව ඇත.  

පොත "එක්දහස් නවසිය අසූ හතර"යි. රචකයා ජෝජ් ඕවල් ය. සිංහලට පරිවර්තනය වන්නේ ආරියවංශ රණවීර අතිනි. 

1984 මගින් ජෝජ් ඕවල් අප ඉදිරියේ රඟ දක්වා පෙන්වන්නේ අනාගත අධිපතිවාදී රාජ්‍යයක ස්වාභාවය හා මිනිස්කම එම අධිපතිවාදය ඉදිරියේ කොතෙක් දුරට පවතීද යන ගැටළුවයි. ඕවල්ගේ සමකාලීනයන් හා ඔහු ආභාෂය ලද්දන් මෙන් මේ සඳහා ඔහු යොදාගන්නේ මනඃකල්පිත ලෝකයකි. 1984 ජෝජ් ඕවල්ගේ අවසාන නිර්මාණය වන අතර ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකේ. කෘතියට නම එලෙස යොදා ගැනෙන්නේ රචනා කල වසර වන 1948 අංක මාරු කිරීමෙන් බව පැවසෙන නමුත් 1984 යන නමෙහි වෙනත් අරුතක් ගැබ් වී තිබේ දැයි ප්‍රකාශ වී නැත.

අනාගත රාජ්‍යයේ නම ඕෂනියාවයි. මෙහි පාලන බලය සමාජවාදී විප්ලවයකින් පසුව "පක්ෂය"නමින් හැඳින්වෙන කොටස මගින් අල්ලා ගනු ලැබෙන අතර ඉන්පසු සිදුවෙන සිද්ධීන් මාලාවකින් පසුව "පක්ෂය" ඕෂනියාවේ සුපිරි පාලකයා බවට පත් වේ. 1984 ප්‍රබන්ධයේ කාලරාමුව පටන් ගන්නේ ඉහත කී විප්ලවය හා පෙරළියට දශක කිහිපයකට පසුවය. 

මෙම අධිපතිවාදී සමාජය තුල නැවත විප්ලවයක් හෝ එවැනි නැගිටීමක් වලක්වාගන්නේ ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කිරීමෙනි. මුලුමහත් සමාජය පුරාම ඉතා දැඩි ලෙස පවත්වාගෙන යන භීෂණය මගින් පක්ෂය (ඕෂනියාවේ මෙම පක්ෂය ඉන්ග්සොක් වන අතර පෘතුවියේ අනෙක් සුපිරි රාජ්‍ය දෙක වන යුරේෂියාවේ බොල්ෂෙවිකයත්, ඊස්ට් ඒෂියාවේ මෘත වන්දනාව නැමැති පක්ෂයත් පවතී. නම් වෙනස් වූවත් මේවායින් සිදුවන කාර්යයන් බොහෝ දුරට සමාන වේ.) නැමැති කුඩා කොටස සෙසු සමාජය යටපත් කරගෙන සිටියි. පක්ෂය පවසන දේ පරම සත්‍යය වන අතර දෙකයි දෙකයි පහයි කී විට, එසේ නොව හතරයි කීමට තරම් එඩිතර අයෙකු තව දුරටත් සොයා ගැනීමට නොහැක. 

අධිපතිවාදයේ පැවැත්ම තහවුරු කරන අනෙක් කාර්යය වන්නේ ඉතිහාසය නැවත නැවත වෙනස් කර පක්ෂයේ අභිමතාර්තය පරිදි ලිවීමයි. ඉතිහාසයක් නොතිබුනහොත් මීට වඩා යහපත් සමාජයක් මින් පෙර පැවතුන බවට මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ නොවේ. එවිට සමාජ පෙරළියක් සිදුවන්නේ ද නැත.

සැලසුම් සහගත සම්පත් හිඟය මගින් ධනවාදයේ ප්‍රධාන අංගයක් වන අතිරික්තය වලක්වා සමාජය ඉතාමත් අඩු සම්පත් ප්‍රමාණයක් යටතේ "රිම් එකෙන් දුවන ගාණට" සකස් කර ඇත. මෙම සම්පත් හිඟය පවත්වාගෙන යන්නේ සුපිරි රාජ්‍ය තුන අතර පවතින නොනවතින යුද්ධය මගිනි. මෙම යුද්ධය විසිවෙනි සියවස මුල් කාලයේ පැවතුන යුද්ධ මෙන් අවසානයක් ඇති, නිශ්චිත ප්‍රතිපල අත්කරදෙන යුද්ධ මෙන් නොව හුදෙක් අධිපතිවාදී සමාජය තුල තුලනය පවත්වාගෙන යාමට ඇති ක්‍රියාවලියකි.

1984 සමාජය තුල රජයන ප්‍රධානම අංගයක් වන්නේ ද්විත්ව චින්තනය (Doublethink) නැමැති යථාර්ත පාලන ක්‍රමවේදයයි. පක්ෂය මගින් එහි පැවැත්ම සඳහා නොකඩවා සිදු කෙරෙන ප්‍රොපගැන්ඩාවන් (ඉතිහාසය වෙනස් කිරීම වැනි) මිනිස් සිතේ අවිඥාණිකව ද සාධාරණීකරණය කිරීම සඳහා යොදාගන්නා චිත්ත ස්වාභාවය ද්විත්ව චින්තනය ලෙස හැඳින්වේ. එකවර එකිනෙකට පරස්පර විරෝධී, හා එකිනෙක කැපී යන අදහස් දෙකක් නිවැරදි යයි සිතමින් කටයුතු කිරීම ද්විත්ව චින්තනය ලෙසින් හැඳින්විය හැක. 

"ද්විත්ව චින්තනය යනු යමෙකුගේ මනසෙහි එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් දරාගෙන ඉන්නා අතර ඒ දෙකම එකවිට සැබෑ යයි එක විටම ඇදහීමය. පක්ෂයේ සාමාජික බුද්ධිමත්හු තම ස්මරණයන් සකස් කර ගත යුත්තේ කවර මාර්ගයක් ඔස්සේ දැයි හොඳින් දනිති. එනිසාම තමා යථාර්ථය සමඟ බොරු මායම් කරන බව ඔවුහු දනිති. ද්විත්ව චින්තනය ඔවුන්ගේ උපකාරයට එන්නේ මෙහිදීය. එහි ආනුභාවයෙන් තමන් යථාර්තයට පිටුපා කටයුතු කරන්නේ නැතැයි තමාට ඒත්තු ගැන්වීමට ඔවුහු සමත් වෙති. මෙම චිත්ත ව්‍යායාමය විශේෂ ආයාසයක් නැතිව ඉබේම සිදු වෙයි."
පිටු අංක 257 - 1984

1948දී ජෝජ් ඕවල් දුටු මෙම ද්විත්ව චින්තනය අද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම එක අතකින් කියන දේ නාහන මිනිස් වර්ගයාට සාමාන්‍යය.

පොදුවේ 1984 සමාජය තුල දකින්නට ලැබෙන්නේ තනි පුද්ගලයා තුලින් පෞද්ගලිකත්වය, යථාර්තය හා මිනිස්කම, ද්විත්ව චින්තනය හා භීෂණය යොදාගනිමින් මිරිකා හරින ලද තත්වයකි. බාහිර හා අභ්‍යන්තරික පක්ෂ සාමාජිකයින් නිරතුරුවම නිරීක්ෂණයට ලක් කෙරෙන අතර පක්ෂයට විරුද්ධව යන්නෙක් බව හැඟවුණ සැණින් මොල සේදීමකට ලක් කර දමයි. නැතිනම් අතුරුදහන් කර දමයි. එකිනෙකාට තම තමාගේ යථාර්තයක් නැත. ඇත්තේ පක්ෂය විසින් මවා දෙන යථාර්තය පමණි. දෙකයි දෙකයි පහයි බව පක්ෂයෙන් පැවසුනහොත් එය පරම සත්‍යය වේ. මෙම මැවූ යථාර්තය පිලිගන්නේ හුදෙක් පක්ෂයට ඇති බියෙන් පමණක් නොව හද පත්ලෙන්ම ව්‍යාජ යථාර්තය සත්‍ය බව පිලිගනිමිනි (ද්විත්ව චින්තනයේ පිහිටෙන්).

පක්ෂය විසින් සියළු මිනිස් සබඳතා ශුන්‍ය කර දමා ඇත. පක්ෂ සාමාජිකයින්ට ප්‍රේම කිරීම තහනම් වන අතර විවාහ විය යුත්තේ පක්ෂය විසින් අනුමත කරන සහකාරිය/සහකාරයා වේ (පසුගිය සමයක මෙවැනි ක්‍රමයවේදයක් අනුගමනය කල පක්ෂයක් සිටි බව මතකයට නැගෙනු ඇත). අනිවාර්යයෙන්ම මෙම විවාහය තුල ප්‍රේමාණීය හෝ රාගික සිතුවිලි තහනම් වන අතර ඔවුන්ගේ සෑම ක්‍රියාවක්ම අනෙක් පක්ෂ සාමාජිකයින්ගේ සේම නිරීක්ෂණයට ලක් වේ. ලිංගික ආකර්ශණය පමණක් නොව මාපිය දූදරු සබඳතා පවා පක්ෂය විසින් විනාශ කර දමයි. කුඩා ලමුන් චරපුරුෂ පෝතක සංවිධානයේ සාමාජිකයින් වන අතර දෙමව්පියන්ගේ "චිත්තාපරාධ" හඳුනාගෙන ඒවා චිත්තාපරාධ පොලීසියට දැනුම් දීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වේ. මෙම ක්‍රියාවන් පක්ෂය බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු දෙකකි. එකක් නම් දෙමව්පියන් නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීමයි. අනෙක මානුෂීය සබඳතා විනාශ කර දැමීමයි. 

ජෝජ් ඕවල්ගේ 1984 ප්‍රබන්ධය විසි වෙනි සියවසේ හොඳම කෘතීන් අතරට එකතු වීම එහි විශිෂ්ඨත්වය පෙන්නුම් කරයි. ඔහු එමගින් අපට ලබා දෙන්නට යන්නේ කුමක් ද?

මෙම කෘතිය රචනා කෙරෙන කාලය තුල සමාජවාදය පිළිබඳ තැබූ උසස් අදහස් ක්‍රම ක්‍රමයෙන් දිය වෙමින් පැවති අවධිය යැයි කිව හැක. ප්‍රායෝගිකව සමාජවාදී රාජ්‍යයක් ගොඩනගමින් තිබූ සෝවියට් සමූහාණ්ඩුව ස්ටාලින් විසින් අන්ත ඒකාධිපති පාලනයකට ගෙන යෑම මෙයට ප්‍රධාන හේතුවයි. ට්‍රොට්ස්කි, කමනෙව් ආදී 1917 රුසියානු විප්ලවයේ ප්‍රධානීන් ඝාතනය කරමින් මුලු මහත් සමාජයම තමාට නතු කර ගැනීමට ස්ටාලින් ගත් මග එතෙක් සමාජවාදයට හිතැති ප්‍රජාවේ කණස්සල්ලට හේතු වන අතර 1984 එලෙස ඇති වූ කණස්සල්ලේ ප්‍රතිපලයක් ලෙස කිව හැක. 

අනෙක් අතට 1984 විසින් මිනිසාගේ චිත්ත ස්වාභාවය සියුම්ව ගවේශණයට ලක් කරන සැටි අපට දැකිය හැක. අධිපතිවාදී පාලනයක් විසින් සියළු මානුෂීය ස්වාභාවයන් නෂ්ඨ කර දමන යුගයක ඒ සියළු දේ පරද්දා නැවත මිනිස්කම ස්ථාපනය කිරීමට හැකි දැයි 1984 ප්‍රශ්න කරයි. ඔහු ඒ සඳහා ලබා දෙන පිළිතුර අශුභවාදී එකකි. අනෙකුන් හිංසාවට ලක් කර තමා සතු බලය යොදා ගැනීමේ මිනිස් පරපීඩක කාමුකත්වය ඔහු උතෝපියා සිහිනයේ ප්‍රධාන බාධාව ලෙස පෙන්වා දෙයි.

"යම්කිසි කෙනෙක් තවත් කෙනෙක් වෙත සිය බලය පතුරුවන්නේ කොහොමද වින්ස්ටන්?"
වින්ස්ටන් කල්පනා කලේය.
"ඔහුට දුක් දීලා. ඔහු දුකට පත් කරලා." 
ඔහු උත්තර දුන්නේය.
"හරියට හරි. ඔහුට දුක්විඳින්න සලස්සලා තමයි. නිකම් අවනත වීම පමණක් මදි. ඔහු පීඩාවට පත් නොකලොත් ඔබ කොහොමද දන්නේ ඒ තැනැත්තා ඔබගේ අණසකට අනුකූලව කටයුතු කරනවාද නැතිනම් ඔහු තමාගේම හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවාස කියල. බලය කියන එකේ නියම අර්ථය අනුව වේදනාව දීමත්, ඔවුන් ගර්හිතයින් බවට පත් කිරීමත් තමයි කරන්නේ. බලය කියන එකේ තේරුම මිනිස් මනස අරගෙන කීතු කීතු වලට ඉරා දමා එතනට බලය හිමි තැනැත්තා විසින් තීරණය කරන ස්වරූපයක් ඇතුලු කිරීම....."
පිටු අංක 325 - 1984

1984 සමාජය යථාර්තයක් බවට පත් වීම කලාතුරකින් සිදු වේ යැයි අපට සිතීමට නොහැක. නියම ලෙස කරුණු කාරණා සැලසුනහොත් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වුව 1984 අන්දමේ පාලන ක්‍රමයකට පත් විය හැක. විශේෂයෙන්ම යුද්ධය නවීන ලෝකයේ භාවිතා වන අන්දම දෙස බලන විට 1984 දක්වා ඇති යුද්ධයේ ස්වාභාවයට සමාන බව දැකිය හැක. සෑම විටම පාලකයින් හට සම්පූර්ණ බලය හිමි වන්නේ සමාජයක් එලෙස යුද බියෙන් තැති ගැන්වූවොත් පමණි. තව දුරටත් උදාහරණ ගතහොත්, වෙළඳපොල සමාජය තුල සම්පත් හිඟකම (scarcity) යොදා ගනිමින් මිනිසා පාලනය කරන අන්දම 1984 තුල යුද්ධය භාවිතා කරමින් පාලනය කිරීමට බෙහෙවින් සමානය. මේ අතින් බලන විට 1984 යනු ස්ටාලින් හෝ හිට්ලර් වැනි කලාතුරකින් ඇතිවිය හැකි අවස්ථා නොව ඕනෑම මොහොතක අප සමාජය තල්ලු විය හැකි ආගාධයක් බව පෙනී යයි. 1984 කෘතිය වෙනුවෙන් කෙරෙන සම්මුඛ සාකච්ඡාවකදී ජෝජ් ඕවල් පහත ප්‍රකාශය කරයි. 

මා කරන්නේ අනතුරු ඇඟවීමක් පමණයි. මෙය සිදුවන්නට ඉඩ තියන්න එපා.

ආරියවංශ රණවීර විසින් පරිවර්තිත "එක්දහස් නවසිය අසූ හතර" රත්න පොත් ප්‍රකාශකයින් යටතේ ලබා ගත හැක. කෘතියට අමතරව ජෝජ් ඕවල් හා කෘතිය ලියැවුණු කාලය පිළිබඳ මනා සටහනක් ආරියවංශ රණවීර විසින් ඇතුලත් කර ඇති අතර කෘතිය අවසානයේ එරික් ෆ්‍රොම් විසින් කරන ලද ග්‍රන්ථ විචාරයක් ද අඩංගු වේ. 

9 ප්‍රතිචාර:

leks' world said...

පොතත් නියමයි වගේම විචාරයත් නියමයි.ගොඩක් පත්තර වල තියෙන කබක් විචාර වගේ නෙවෙයිපොත ගැන සෑහෙන මධ්‍යස්ථ විදියට කියලා තිබෙනවා.පත්තරයක ඔය ටික තිබ්බානම් මෙන්න මේ විදියට පටන් ගනීවි......විසින් රචිත ..........නම් කෘතිය සමාජවාදයේ නිරුවත හෙළිකරන එහි අධිපතිවාදයේ පීඩාවේ කඩතුරාව හැරදමන................ඉතින් හොදට දෙහි කපාවි.ඒකයි මම කිව්වේ හොදට ලියලා තියෙනවා කියලා.හැබැයි මට හිතෙන හැටියට සමාජවාදයේ නිෂ්පාදනයේදී රිම් එකෙන් යාමක් වෙනවා කියන්න බැහැ. අන්ත දුගී රටවල් දෙකක් වෙච්ච රුසියාව හා චීනය දැන් ධනවාදී වෙලා හිටියට ඒ රටවල් ආර්ථික බලවතුන් උනේ ඒ පාලනය යටතේ බව අමතක කරන්න හොද නැහැ. කොහොම උනත් අපි සමාජවාදී විය යුතුයි කියලා ඒකෙන් කියවෙන්නේත් නැහැ.අපි ලංකාවට ගැලපෙන ක්‍රමයකුයි හොයාගන්න ඕනි.කොහොම උනත් නීරස දේශපාලන කතා ඇදගෙන ඔබේ රස කතාවේ රසයට බාධා කලාට සමාවෙන්න ඕනි.

Aravinda said...

මමත් කලකට ඉහත කියවපු හොඳ පොතක්.
පෙර ප්‍රතිචාරයෙන් කිව්වා වගේම මේ විචාරයත් හොඳ මධ්‍යස්ථ විචාරයක්. මට මෙහෙම එකක් හිතෙනවා. මේ කියන කතාව කවදාහරි හැබෑවක් වෙනවා නම් හැබෑ වෙන්නේ සමාජවාදය නිසා නෙමෙයි ධනවාදය හරහා වෙන්න පුලුවන්.

sriwow said...

අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
අපි www.sriwow.info

පිටස්තරයා said...

@leks' world,
ස්තුතියි ප්‍රතිචාරයට. මේ පොතෙන් කියවෙන දේ ගැන හුඟක් අයට වැරදි අර්ථකථන ගන්න පුලුවන්. හරියට අර ජෝන් පර්කින්ස්ගේ ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය වගේ. ඒත් 1984 සඳහන් වෙන සමාජය මාර අමුතු එකක් නෙවෙයි. ඕනෙම සමාජයකට වෙන්න පුලුවන් දෙයක්. කවුරු හරි සමාජවාදයට ඒක පටවලා ඇඟබේරගන්න යනවනම් ඒ එක්කො හිතාමතාම පොතේ අදහස විකෘති කිරීමක්. නැත්තන් පොතේ අන්තර්ගතය එක්ක ලෝකයේ සිදු වෙන දේවල් ගලපගන්න බැරි නොහැකියාවක්. පත්තර ගැන අපි දන්නේ නැද්ද? :)

ඔබේ දේශපාලනික අදහස් මේ සටහනට ඉතාමත් වටිනා ඌණ පූරණයක්. ඇත්තටම සමාජවාදය කියන්නෙ හිඟන ආර්ථිකයක් කියල හිතාගෙන ඉඳීම වැරදියි. ඒ අදහස මම හිතන්නෙ ශතවර්ශ ගානක් තිස්සෙ බලෙන් ඔලුවට කවපු අදහසක්. ස්තුතියි.

@Aravinda,
මම හිතන්නෙ මේ මාර්ග දෙකේම වරද්දා ගන්න පුලුවන් තැන් තියෙනවා. සමාජවාදය ගැන කෙසේ වෙතත් ධනවාදයේ බලකඳවුර තුල ටෙලිස්ර්‍කීනයක් ස්ථාපනය කිරීම කණිෂ්ඨ බුෂ් යටතේ සිදුවුනා. ත්‍රස්තවාදයට එරෙහි සටන යටතේ "දේශමාමක පනත" (Patriot Act) සම්මත කර ගැනීමට ඔහු සමත් වුනා. දේශමාමක පනත කොතරම් දුරට මිනිසාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරනවාද යන්න එහි ඇති මිනිසුන් පරිහරණය කරන පුස්තකාල පොත් දත්ත පවා ලබා ගැනීමට ඇති අවසරය මගින් පෙන්වනවා. චෝදනා නොසැතිව අත්අඩංගුවේ තබා ගැනීම් ආදී අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය වෙද්දී නිල වශයෙන් මැරූ අල් කයිඩා සාමාජිකයින් ගනන බිංදුවයි. මරණ තරමක් මැරීමට හැකි වූයේ තලිබාන් සාමාජිකයින් මිස අල් කයිඩා සාමාජිකයින් නොවේ. ප්‍රංශ බුද්ධි අංශ සාමාජිකයෙකුට අනුව අල් කයිඩා නමින් සංවිධානයක් ඇත්තේත් නැහැ.

ප්‍රතිචාරයට ස්තුතියි.

@sriwow,
සමාවෙන්න. එසේ කිරීමට හැකියාවක් නැහැ.

Ramachandra said...

good post.සමාජවාදී ස්වරූපයෙන් වේවා ධනවාදී ස්වරූපයෙන් වේවා එන ඒකාධිපතිවාදය මිනිස් නිදහසට පරම හතුරුයි.රුසියානු විප්ලවය සහ එහි ආනුෂංගික සිදුවීම් ඇතුලෙ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.ආර්ථික සහ සමාජීය වශයෙන් ගුනාත්මකව සෑහෙන පරිවර්තනයක් වෙද්දි රුසියාව දේශපාලනික වශයෙන් පිරිහෙන්නේ එය ආඥාදායකත්වයක් වෙත ගමන් කරන්නෙ පුරවැසියා ශක්තිමත් කරන්න විප්ලවය අසමත් වීම හින්ද.මිනිස් සිරුරට ඔක්සිජන් අවශ්‍ය වන්නේ යම්සේද සමාජවාදයට ජීවත් විම සදහා ප්‍රජාතන්ත්‍රවාදය ඇවැසියි කියල ට්‍රොට්ස්කි කියනවා.20 වන සියවසේ සිදු වුන මෙම වැරදීම් 21 වෙනි සියවසේ පාඩම් බවට පත්කරගන්නවා නම් නූනත සමාජවාදයට විකල්පයක් විදිහට නැගිටින්න ඕනෙ තරම් අවස්ථා තියෙනවා.
( ධනවාදය ඇතුලේ බහුතර මිනිසාට කෙල වෙලා තියෙන ප්‍රමානය සලකලා බැලුවම )

Kazilla Chathura said...

The Jackal: “You can’t break a man the way you break a dog, or a horse. The
harder you beat a man, the taller he stands. To break a man’s will, to
break his spirit, you have to break his mind. Men have this idea that we
can fight with dignity. That it’s a proper way to kill someone. It’s
absurd, it’s unaesthetic. We need it to endure the bloody horror of murder.
You must destroy that idea. Show him what a messy, terrible thing it is to
kill a man, and then show him that you relish in it. Shoot the wound, then
execute the wounded. Burn them, take them in close combat, destroy their
preconceptions of what a man is, and you become their personal monster.
When they fear you, you become stronger. You become better. But let's never
forget, it's a display, it's a posture, like a lion’s roar or a gorilla
thumping in its chest. If you lose yourself in the display, if you succumb
to the horror, then you become the monster. You become reduced. Not more
than a man, but less. And it could be fatal.”

"Life it self is its will of power... nothing else matters.... "


All these lines are some of the words of the character Jackal(arms dealer) from the game "Far Cry 2"
the story in the Far Cry 2 must be written as a book.... its awsome.. a story of a arms dealer...


"Reuben: “Why Africa? People need weapons all over the world, why here? Why
my home?”
The Jackal: “Every place is somebody’s home, pal. But it doesn’t stop
people from going to war. I don’t start wars, I didn’t start this one. It
seems like it’s your fellow Africans that want each other dead. Besides,
why should I give a shit about your home, why should anyone? You want me to
go somewhere else, so there’s someone’s home you don’t give a shit about?”"

Palitha said...

හොඳ පොතක් හා හොඳ විචාරයක්...
මට මේක දැක්කම මතක් වුනේ "Matrix" ෆිල්ම් එක. සමාජ ක්‍රමය මොකද්ද කියලා වැදගත් නැහැ, මං හිතන්නේ මෙවැනි තත්ත්වයන් කරා යාමට කුමන‍ හෝ නමකින් හඳුන්වන සමාජ ක්‍රමයකට හැකියාවක් තියෙනවා. මගේ පුද්ගලික අදහස නම් සමාජවාදයට යම් සාධනීය සමාජයක් ගොඩනැඟීමේ ඉඩකඩක්වත් තිබුණත් ධනවාදයට නම් මනුස්සකමක් කියලා එකක් ගෑවිලා වත් නැහැ.

ආගන්තුකයා | Stranger said...

පොදුසතුරා නැතිවුනොත් දැන් ලංකාවත් ඉවරයි .. මම දැන් කල්පනා කරන්නේ ලංකාවේ මේ දවස්වල පොදු සතුරා කවුද කියන එක.. පොත ගැන කියනවානම්. සාමාන්‍යෙයන් රටක පවතින දේශපාලන ක්‍රමයට ඉබේම ඇප්ලයි වෙන පොතක් විදිහට කියන්නත් පුළුවන්.. හැබැයි ධනවාදයේ පරමාදර්ශය තියෙන්නෙත් මේ කියන පාලන ක්‍රමයේ වෙන්නත් පුළුවන්.. සිරා පොතක්..

Anonymous said...

දහ අටවෙනි ව්යිවස්ථා සංශෝධනයට ජන මත විචාරනයක් ඕනෙද? ඔබව නියෝජන කරන මන්ත්රී් ව අල්ලගන්න අමාරුද? ඔවුන්ගේ නමට පාර්ලිමෙන්තුවට අමතා පණිවුඩයක් තියන්න.

011 2777100 අමතන්න. ඔබේ පණිවුඩය කියන්න.

Post a Comment