කෙටි කරපු දිග කතා

මා අසළ ඇති පොත ගැන මෙසේ පළමු සටහන පොත් ගුල තුල ලියා තබමි.

කැමති කෙනෙකුට මෙය කල්ඉකුත් වුනු පොතක් ලෙස වර්ග කල හැක. එහෙත්! මෙය කියවන ඔබ අප මුහුණ සැබෑජිවි‍තයේ මුහුණ නොදුන් එහෙත් අපේම භූමියේ අප සමඟ සිටගත් තවත් සහෝදර ජනතාවකගේ ඉරණම් කථාවයි..

පොත නමින් "කෙටි කරපු දිග කථා"වේ. පිටකවරයේ ඉදිරිපස සිට කවරයේ පිටුපස පිටුව දක්වා ඇත්තේ අඳුරකි.. අළු පාට පිටකවරයේ කාබන් පෑනකින් ඇදි කුරුටු සිතුවමකි. ඒ අසලින්ම පිළිවලක් නැති අකුරු වලින් කුමාරි යැයි සටහන්ව ඇත. කුමාරි කවුදැයි දැනගන්න පොතේ පිටු තුලට යා යුතුය.. ඇය නමින් කුමරි කුමාරගමගේ වන්නීය.. ඔබ ඇය නාදුනයි නම් ඇය පිටුපස පිටකවරයේ ඇතුල් පැත්‍ත බැලීමෙන් දැකගත හැක.. මැදිවිය පසුකරමින් සිටින ඇය කුමාරි කුමරගමගේ යැයි සැක කරනවා හැර අපි වෙන කුමක් කරන්නද?

මම මෙයින් වැඩි යමක් නොලියමි.. කුමාරි විසින් දිලීප නමින් පිදූ එම පොතේ ඇති අකුරු වලට ඔබ හා දොඩන්නට ඉඩ දී මම මගේ අදහස් අහවර කරමි.. තව එක් දෙයක් කිව යුතුව ඇත.. මේ අඳුරු අතීතය සෙමින් මැකී යමින් පවතින්නේ යැයි වර්තමානය අපට පවසයි.. එහෙත් එය මැකී ගියද එහි සෙවනැලි හා අළු යට සැඟව ඇති ගිණිපුපුරු තවම උණුසුම් බවද පවසමි..

"තවත් එක් දෙයක් කිව යුතුය. මේ ලියා ඇත්තේ නැගෙනහිර හෝ ලංකාවේ ඉතිහාස කථාව නොවන බවයි. මෙය විශාල පිංතූරයේ ඉතාම පුංචි කොටසක් පමණි. සේ කොටසින් මුළු පිංතූරයම තේරුම් ගත නොහැකිවාක් මෙන්ම මේ පුංචි කොටස නැතුව පිංතූරය සම්පූර්ණ නොවන බව මම විශ්වාස කරමි. "
කුමාරි
2007 නොවැම්බර්
කොළඹ

පාර්වතී
........
........

රෑ 7 පහු වුනාම අවට ගෙවල් වල කිසි කෙනෙක් ‍එළියට බහින්නේ නැහැ..පාර්වතී කොලුවත් එක්ක 7 වෙනකොට දොර අඟුලු දාගෙන ගේ ඇතුළට වෙනවා.."මොකද මේක එක එක තුවක්කුකරුවන්ගේ පාරාදීසයක්" පාර්වතී කිව්වා..
"හදිස්සියේ වත් චූ බරක් හැදුනොත්?" මම ඇහුවා.. එයා අයිත් හිකි හිකි ගාලා හිනා උනා..
2007


පොන්නුදුරෙයි
අපි වෙනුවෙන් කිසිම කෙනෙක් මොනවත් කරේ නැහැ.. ඉස්සරහට කරන්නෙත් නෑ..බලයේ හිටපු අයයි බලය ගන්න හදන අයයි කවුරුත් කලේ අපිට නිදහසේ ඉන්න දුන්නේ නැති එක.. අපිට ඉන්නේ දෙයියෝ විතරයි නෝනා..දෙයියො කොහොම හරි මගේ පුතාට ගෙදර එන්න සලස්වාවී..
....
...
..
දෙමළ වෙලා ඉපදුනු පාපෙට දෙයියො මොනා කරන්නද?
2007

මව්වරු හා දරුවන්
එල් ටී ටී ඊ එකෙන් ඇවිත් පැලේ හේත්තු කරලා තිබුන බයිසිකලේ ඉල්ලලා. එයා කියලා අනේ එක නම් දෙන්න බෑ කියලා..ඒක නැතුව කොහොමද මම ගෙදර යන්නේ කියලා..උන් ඒක අහන්නේ නැතුව බයිසිකලේ ළඟට යද්දි බල්ලා ගොරවලා. එතකොටත් එයා කිව්වලු බල්ලට කරදර කරන්න එපා බයිසිකලේ මම අරන් දෙන්නම් කියලා.ඒත් උන් බයිසිකලේ අතඇරලා බල්ලාගේ කණට වෙඩි තියලා

ගෙදර ආපු කොණ්ඩේ කපපු ළමයි
"අපි ආයේ ඔයාව බලන්න ආවොත් මොනවද ගේන්න ඕනේ?"

එයා අම්මාගෙන් ඇස් ගලවගෙන ආයිත් මගේ ඇස්වලම පටලගත්තා.. දකුණු අතේ දබරඇගිල්ලෙන් එයගේ ඔළුවේ බෑන්ඩ් එක පෙන්නවා..
"ආ.. ඔළුවේ දාන බැන්ඩ් එකක්.. හ්ම්ම්ම් මොන පාටද?"

ඒ ඇගිල්ලම මගේ ෂර්ට් එක පැත්ට දික්කරා..මම ඇ‍දගෙන හිටියේ රතුපාට ෂර්ට් එකක්.. ෂර්ට් එක දිහා බලපු ඇස් උස්සන්න ඉස්සෙල්ලා මට පළමු වරට එයාගේ කටහඬ ඇහුනා.
"දෙකක්"

මම ගැස්සිලා එයා දිහා බැලුවා.. එයා ඇඟිලි දෙකක් පෙන්නුවා..
"එකක් මට,අනෙක එයාට..."

සිත්තාන්ඩි
කවුද ඉතිං වෙඩි තියලා තියෙන්නේ?

දන් නෑ

ඒල් ටී ටී ඊ ය ද?

නෑ

කරුණද?

නෑ

වෙන කණ්ඩායමක් ද?

නෑ

හමුදාවද?

දන් නෑ

අපිත් ආසයි සිංදු අහන්න.
කන්මනි කන්මනි එන් කාදලීයේ..

ආ.. අක්කත් ආසද? අපිත් හරි ආසයි ඒකට විතරක් නෙවෙයි.. එයාගේ හුඟක් සිංදු වලට ආසයි..අක්කා දන්නවාද අපි ආසම ගායකයා සංගීත්
....
....

ඇයි අක්කේ දෙමළ කථා කරන අයට ඒ ගොල්ලෝ බයද? ඒගොල්ලෝ දෙමළ අය එක්ක තරහද? ඒ වුනාට සංගීත් දෙමළෙනුත් සිංදු කියනවානේ..
...
...
...
එයාට කියන්න කොණ්ඩේ වැවුනම අපි කෝච්චියෙන් එනවා කියලා එයාව බලන්න හරිද? ඔන්න අමතක කරන්නෙපා..

දැනට ඇති ඉතිරි කියවීම් ඔබට බාරයි.. වසර 30ක දිගු කතාවක් කෙටි කරපු කුමාරිගේ පොතේ පිටු205 මම අකුරු 205කට ගොනුකිරීම වැරදි මුත් මම මගේ කොටස ඉටු කලෙමි. ඉතිරිය ඔබට බාරකරමි. දෙමළ කෙල්ලන්ගේ කොටට කැපී කොණ්ඩය දැන් ‍වැවෙනවා ඇති.. එය පිච්ච මලින් සැරසිය හැක්කේ ඔබටයි...!!
අවසානයට පෙර කුමාරිගේම වචන වලින් ඔබට සමුදෙමි.

හේමලතාගේ මට මෙන්ම
පාර්වතීටද
පරමේෂ්වරීටද
නන්දිනීටද
කාලිකුට්ටිටද
අප්පු,පොන්නුදුරෙයි හා කුහලන්ලාටද
නම් නොකියවුනු අම්මලාටද
‍නම් නැති නූ ළමයින්ටද
මේ පොත උපහාරයක් වේවා..
මන්ද,මෙහි වචන සහ පින්තූර ලෙස ඇඳී ඇත්තේ ඔවුනගේම ජිවිත බැවිනි.


සටහන - මලී

10 ප්‍රතිචාර:

හෂිත said...

ela ela..!

ආගන්තුකයා said...

නන්නත්තාරයි කොහෙද මේ අපිව ගෙනත් දැම්මෙ.. පට්ට පට්ට...

හෂිත said...

කුමාරි.... මට අවසන් වරට හමු වූයේ ඉතා වෙහෙසට පත්ව සිටියදී ය. ඇය යුද අනාථ ගැහැණුන් ට යට ඇඳුම් හා සනීපාරක්ෂක තුවා ගැනීමට මුදල් සොයමින් මිතුරන් වෙත යමින් සිටියාය.

වෙජී® (පුංචි එකා) said...
This comment has been removed by the author.
වෙජී® (පුංචි එකා) said...

"අපිත් ආසයි සින්දු අහන්න. කන්මනි කන්මනි එන් කාදලීයේ"
"ආ අක්කත් ආසද?. අපිත් හරි ආසයි. ඒකට විතරක් නෙවෙයි. එයාගේ හුඟක් සිංදු වලට ආසයි.අක්කා දන්නවද අපි ආසම ගායකයා සංගීත්."

"ඇයි අක්කේ දෙමළ කතා කරන අයට ඒගොල්ලෝ බයද? ඒගොල්ලෝ දෙමළ කතා කරන අය එක්ක තරහද?.ඒවුනාට සංගීත් දෙමළෙනුත් සිංදු කියනවනේ."

කාලයක් මගේ ඔලුවේ තිබ්බ අදහසක්. "දෙමළ අහන් ඉන්න පුලුවන්ද. චක බක ගානවා විතරයි. කිසිම රහක් නෑ." මේ මනස්ගාතය නිසාම, මම වැඩිය දෙමළ චිත්‍රපට නැරඹීම පවා ගොඩක් අතාඇරලයි තිබ්බේ. ඒත් කාලයත් එක්ක, මගේ අදහස් වෙනස් වුනා. ඒත් ප්‍රශ්නයක් ඉතුරු වුනා. පසුව ඉස්ලාමිකයෙක් වෙච්ච, උපතින් දෙමළ රාහ්මන් සංගීතවත් කරපු, දෙමළෙක්ම වන හරිහරන් ගායනා කරපු "උයිරේ" මම ආසාවෙන ඇහුවා. බෙග් මාස්ටර් "බුද්ධං සරණං ගච්ඡාමි" කියනකොට පව්කාර හිතේ මොහොතකට පින් සිතුවිලි ඇති වුනා මිසක, "යකෝ මූ මුස්ලිම් නේද?" කියල හිතුනේ නෑ. "උන්මාදිනී" ලිව්වේ, ජ'පුරේ සිංහළ විශේෂවේදියෙකු වන මුස්ලිම් කොල්ලෙක් බව හිතුනෙ නෑ (නිලාර්ගෙ නම සහ ඔහු මුස්ලිම් බව දැනගත්තෙත් ගොඩක් පසුකාලීනව.). මුරලි "ටීම් එකේ ප්ලෙයර් කෙනෙක්" හැට්යට මිසක, දෙමළෙක් විදියට පෙණුනේ නෑ. මේවා දෙමළ පිළිබඳ මගේ අදහස් වෙනස් වෙන්න කළින් ඉඳලා මට දැණුන දේවල්. එහෙනම් මොකද රහක් නෑ කිව්වේ?. අචේතනිකව හෝ ඔලුවේ තිබ්බේ රහ නැති කතාව, සත්‍යය විසින් මොහොතකට හෝ නැති කරලා. ඒ මට දැන් හිතෙන විදිය.

බහුතරය සිංහළ බස හසුරවන සමාජයක, රටක ජීවත්වීමට සිදුවීම නිසා, බලෙන් හෝ සිංහළ බස සහ ඒ සංස්කෘතියට හැඩ ගැසෙන්න ඔවුන්ට සිදුවුනා. නමුත් එවැනි බල කිරීමක් හෝ(බල කිරීම අනුමත කිරීමක් නෙමේ මේ කරන්නේ. ඒක හිතින්ම එන්න ඕනේ.) සිංහළ අපට නැතිවීම නිසා, අපි වගේ සමහරුන්ට "දෙමළ දිරවන්නේ නැතිව ගියා". සිංහළට පමණක් මුල් තැන දියයුතු බව කියමින්, තමන්ගේ කාළකණ්ණි බල තණ්හාවට හා ආසාවන්ට රට, ජාතිය බිල්ලට දීපු දේශපාලුවන්ට පිං සිද්ද වෙන්න ඇති වුන තත්තවය ඕක තමයි. තම තමන්ගේ ආගම, ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න, කතා කරන්න හැමෝටම අයිතිය තියෙනවා. හැබැයි, අම්මට තමන්ගේ තියෙන බැඳීම, අයිතිය ගැන කතා කරන්න මිසක, අම්මව විකුණන් කන්න කාටවත් බෑ. ඒක අපි හැමෝටම අදාළයි. මට හිතෙන විදියට, මේ වගේ ප්‍රශ්න අපේ පරම්පරා වල ඉස්සර තරම්ම දරුණු නෑ. නැතුවා නෙමෙයි. ඒත්, බලාපොරොත්තුවක සේයාවක් මගේ හිතේ තියෙනවා.

malee_msg said...

හෂිත - ස්තූතියි..

ආගන්තුකයා - ‍නොගිය දිහාවකට.

හෂිත - ඔයා එයාව දන්නවද? මුණගැහුනොත් කියනවාද එයාගේ පොතට ගොඩක් ආස කරන ගෑණු ළමයෙක් ඉන්නවා කියලා..

වෙජී - බොහෝම ස්තූතියි.. හොද වටින අදහසක් එක්ක දිගම දිග කමෙන්ට් එකක් දැම්මට.

හෂිත said...

කුමාරි ගේ අංකය තිබුනු ජංගමයා ගෙ මතකය මැකුණා(format kala back up nokara). නමුත් මට හදිස්සියේ කොහෙදි හරි හම්බ වෙන්න පුළුවන්. මම කියන්නම්..

ඩනිෂ්ක said...

මේ සමූහ බ්ලොග් එක ලියන සැමට,

සටහන නොකියවයි මේ ලියන්නේ.
කසුන් වෙන තැනක දාපු කමෙන්ට් එකක් ඔස්සේයි මෙතනට ආවේ.

වෙනස් වැඩක් දිගටම කරගෙන යන්න. :)
සුභ පැතුම්!

``` Outsider``` said...

මේ භූමිය තුල හැමදාම කඳුඵ හලන්න ඔවුන්ට සිදුවුණා. තම රුධිරය හලන්න සිදුවුණා. සියඵ දේ අහිමි කර ගන්න ඔවුන්ට සිදුවුණා. ඒත් ඔවුන් කාටවත් වරදක් නොකල අහිංසකයින්. ඔවු‍න්ගේ අසරණ බවින් ජාතිවාදීන් සහ දේශපාලකයින් ප්‍රයෝජන ගත්ත. ඒත් අහිමි වීම මිස ඔවුන්ට හිමිවු කිසිවක් නෑ. තමන්ට පාලනය කළ නොහැකි අත්වලින් නැටවෙන රූකඩ බවට පත් වන්න ඔවුන්ට සිදුකලේ කවුරුන්ද? දිගින් දිගටම මේ දේ සිදු නොවේ යැයි සිතීමට තරම් සාධාරණ ව්‍යුහයන් අදටත් ගොඩනැගෙනවද?
ඉතාම සංවේදී සටහන් ටිකක්. මෙවැනි දේවල් සොයා හඳුන්වාදෙන කරන බ්ලොග් එකේම සැමට පින්...

Anju said...

ලස්සනම ලස්සන කතා එකතුවක්..!!

Post a Comment